මිහින්තලේ කටුසෑයේ 'අනීතික' යාතිකා සහ පඬුරු එකතු කිරීම් වළක්වමින් අධිකරණයෙන් තහනම් නියෝගයක්

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මිහින්තලය රජ මහා විහාරාධිපති හිමියන්ගේ විහාරාධිපතීත්වයට සහ භාරකාරත්වයට අභියෝග කරමින් මිහින්තලය පුද බිමේ පිහිටි කටුසෑයේ 'අනීතිකව' යාතිකා කටයුතු කරමින් පඬුරු මුදල් අට පිරිකර ඇතුළු පූජා භාණ්ඩ නීති විරෝධීව එක් රැස් කරමින් සිටින කපු මහත්වරුන් යැයි කියා ගන්නා විත්තිකරුවන් තිදෙනෙකු එකී යාතිකා කටයුතුවලින් සහ පඬුරු මුදල් සහ පූජා භාණ්ඩ එක්රැස් කිරීමෙන් වළක්වාලමින් අනුරාධපුර දිසා විනිසුරු සම්පත් හේවාවසම් (අගෝ: 31) තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

කපු මහත්වරුන් යැයි කියා ගන්නා මෙම විත්තිකරුවන් තිදෙනා සිදු කරන අනීතික ක්‍රියා ටියුබ් නාලිකාවක ප්‍රචාරය කිරීම සහ පළකිරීම වළක්වාලමින් එහි පරිපාලකවරයාට ද තහනම් නියෝගයක් නිකුත් කළ දිසා විනිසුරුවරයා මෙම පෙත්සමට අදාළව විරෝධතා සැප්තැම්බර් මස 14 දින ගොනු කරන ලෙසට ද විත්තිකරුවන්ට නියෝග කළේ ය.

මෙසේ නියෝග කළේ, මිහින්තලය රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි අනුරාධපුර දිසා අධිකරණය හමුවේ පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව ය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ, මිහින්තලය රුවන්ගම, නුවර පාර ප්‍රදේශයේ පදිංචි පී. විජේරත්න, මිහින්තලේ ඉහළගම, සුරංග අනුරාධ ධර්මදාස සහ මිහින්තලේ නව නුවර පාර මහින්ද රාජපක්ෂ මාවත ලිපිනයේ පදිංචි ප්‍රසන්න ශ්‍රීලාල් සහ අදාළ ටියුබ් නාලිකාවේ පරිපාලක අජිත් බණ්ඩාර එදිරිසිංහ යන අය වෙති.

පළමු විත්තිකාර පී. විජේරත්න සහ තුන් වන විත්තිකාර ප්‍රසන්න ශ්‍රීලාල් පිය පුතු දෙපළකි. පැමිණිලිකාර මිහින්තලය රජමහා විහාරාධිපති හිමි වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ හේමක සේනානායක ප්‍රකාශ කළේ, මිහින්තලය රජ මහා විහාරය බෞද්ධ හා විහාර දේවාල ගම් පනතේ 4 (1) වන වගන්තියේ ප්‍රතිපාදනයන්ට යටත් විහාරස්ථානයක් වන බවත් එම විහාරස්ථානයේ නිත්‍යානූකූල භාරකාරත්වය දරන්නේ මෙම නඩුවේ පැමිණිළිකාර වත්මන් විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් බවත් ය.

ඒ අනුව මිහින්තලය රජ මහා විහාරස්ථානයට අයිති වූ හෝ එහි ප්‍රයෝජනය සඳහා වෙන් කරන ලද චංචල නිශ්චල සියලු දේපළ ද ඉන් උපයන දේ ද බදු මුදල් හා ලාභ ද එම විහාරස්ථානයේ ප්‍රයෝජනය සඳහා කරන සියලු ම පූජා ද තත්කාලීන භාරකාරත්වය පැවරී ඇත්තේ, වත්මන් විහාරධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ට බව ද කියා සිටි නීතිඥවරයා එවැනි නීතිමය තත්ත්වයක් පවතින පසුබිමක මෙම පෙත්සමේ විත්තිකරුවන් මිහින්තලය පුද බිමේ පිහිටි කටුසෑයෙහි අනවරයෙක් යාතිකා කටයුතු සිදු කරමින් ඉන් ලැබෙන පඬුරු මුදල් අට පිරිකර ඇතුළු පූජා භාණ්ඩ නීතිවිරෝධීව එක්රැස් කරමින් සිටින බව ද කියා සිටියේ ය.

'ස්ථීර තහනම් නියෝගයක් නිකුත් කරන්න'

තවදුරටත් දීර්ඝව කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ හේමක සේනානායක අධිකරණයෙන් ඉල්ලා සිටියේ, කටුසෑයෙහි පරිපාලන කටයුතු කිරීම් සහ ආගමික කටයුතු කිරීම් සහ ලැබෙන පඬුරු පරිත්‍යාග පිරිකර සහ අනෙකුත් ආදායම් එක්රැස් කිරීම සඳහා පැමිණිලිකාර ස්වාමීන් වහන්සේ විසින් පත් කරන ලද සහ හෝ බලය පවරන ලද තැතැන්තන් කටුසෑයෙහි පරිපාලන කටයුතු සහ කටුසෑයෙන් ලැබෙන අනෙකුත් ආදායම් එක්රැස් කිරීම් කටයුතු සිදු කිරීමේදී එම කටයුතුවලට බාධා සහ අවහිර කිරීම් වළක්වාලමින් පළමු, දෙවන සහ තුන් වන විත්තිකරුවන්ට එරෙහිව ස්ථීර තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ය.

කටුසෑයෙහි කටයුතු සම්බන්ධයෙන් පැමිණිලිකාර ස්වාමීන් වහන්සේ සතු පරිපාලක සහ ආගමික කටයුතු මෙහෙයවීමේ බලය සහ එහි පඬුරු පිරිකර පරිත්‍යාග හා අනෙකුත් ආදායම් එකතු කිරීමේ සහ පාලනය කිරීමේ බලය ද ප්‍රතික්ෂේප කරමින් කවර හෝ ප්‍රකාශයක් පළ කිරීමෙන් හෝ ප්‍රචාරය කිරීමෙන් 4 වන විත්තිකාරු වන අදාළ යූ ටියුබ් නාලිකාවේ පරිපාලකවරයා වළක්වාලන ස්ථීර තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

නීතිඥවරයාගේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර දිසා විනිසුරු සම්පත් හේවාවවසම් 1 සිට 3 දක්වා විත්තිකරුවන්ට කටුසෑයෙහි යාතිකා කටයුතු සිදු කිරීම සහ කටුසෑයට පූජා කරන පඬුරු මුදල් අටපිරිකර ඇතුළු පූජා භාණ්ඩ එක්රැස් කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම භාරකාර විහාරධිපති හිමි පත් කර ඇති සේවක නියෝජිත අවසරලාභීන්ට කටුසෑයෙහි කටයුතු කිරීමේ බලයට සහ පඬුරු මුදල් අටපිරිකර සහ අනෙකුත් පූජා භාණ්ඩ එක්රැස් කිරීමට බාධා කිරීම වළක්වමින් ද විත්තිකරුවන්ට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළ දිසා විනිසුරුවරයා 1 සිට 3 දක්වා විත්තිකරුවන් සිදු කරන අනීතික ප්‍රකාශ පළ කිරීම හෝ ප්‍රචාරය කිරීම වළක්වමින් අදාළ යූ ටියුබ් නාලිකාවේ පරිපාලකවරයාට එරෙහිව ද තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

පැමිණිලිකාර මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි වෙනුවෙන් නීතිඥ රෝහණ ප්‍රේමලාල්ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ හේමක සේනානායක සහ නීතිඥ මනෝහර ද සිල්වා පෙනී සිටියහ.