ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය: පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට කළ ඉල්ලීම ඉවත දමයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශව කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ, අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කරන බවත් ය.
මෙම පෙත්සම් අද විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එස්.ඒ. සුමන්තිරන් මෙම ඉල්ලීම කළේ ය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලු විනිසුරුවරුන් අසුන්ගෙන මෙම පෙත්සම් විමසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඊට අමතරව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු එය ඉල්ලා සිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ බලය අගවිනිසුරුවරයා සතු බව පෙන්වා දුන්නේ ය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (3) ව්‍යවස්ථාව යටතේ විනිසුරු මඩුල්ලක විනිසුරුවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතු වන පෙන්වා දුන් සොලිසිටර් ජෙනරාල්වරයා මෙම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වීමට වෙනත් පාර්ශවයකට හැකියාවක් නොමැති බවත් සඳහන් කළේ ය.
අතරමැදි පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් ඇතුළු නීතිඥවරුන් පිරිසක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විනිසුරු මඩුල්ලක සංයුතිය සම්බන්ධයෙන් තීරණය කිරීමේ අභිමතය අගවිනිසුරු සතු වන බව පෙන්වා දුන්හ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද ආරම්භ කළේ ය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුණ ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 67ක් ගොනු කර ඇති අතර අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සම් 05ක් ඉදිරිපත් කර තිබේ.
ශාලාවේ වෙනසක්
මෙම පෙත්සම් විභාගය සඳහා 502 ශාලාව වෙන් කර තිබිණි.
කෙසේ වෙතත්, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ඇතුළු නීතිඥවරුන් පිරිසක් ඉල්ලා සිටියේ, එම ශාලාව තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති හෙයින් 501 ශාලාවට මාරු කරන ලෙස ය.
එම ඉල්ලීම සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ, පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කිරීමට ය.