කහ සෞඛ්‍යයට හිතකර ද? සත්‍යය සහ මිථ්‍යාව විමසා බලමු

Small round dish holding turmeric powder. Next to it is a wooden spoon with  small amount of powder, and to the left, small parts of the turmeric root in its raw form.

කුඩා වටකුරු පිඟානක කහ කුඩු තබා ඇත. එය අසල කුඩා ප්‍රමාණයක කහ කුඩු සහිත ලී හැන්දක් තිබෙන අතර, වම් පසින් අමු කහ මුල් කිහිපයක් ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සාරා බෙල්
    • Role, බීබීසී ගෝලීය සෞඛ්‍යය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඔබ ඉන්දියානු කුකුළු මස් වෑංජනයක්, සුඩාන ඔටුමස් බුරියානි, මැලේසියානු ලක්සා එකක් හෝ බංග්ලාදේශ මාචර් ජෝල් එකක් පිළියෙළ කළ ද ඒ සියල්ල සඳහා පොදු එක් අමුද්‍රව්‍යයක් තිබේ - ඒ, කහ ය.

ආහාර රසවත් කිරීමට උපකාරී වනවා සේ ම ලෝකයේ පැරණිතම සහ වඩාත් ම ප්‍රියකරන කුළුබඩුවලින් එකකට අපගේ සෞඛ්‍යයට ආශ්චර්යයක් ලෙස ක්‍රියාකළ කළ හැකි ද?

''මගේ පවුල, පරම්පරාව පන්ජාබ්වලින් පැවන එන නිසා අපි කහ භාවිත කරන්නේ නැතුව පිළියෙළ කරන ආහාරයක් ගැන මට හිතා ගන්නවත් බැහැ,'' ආහාර පර්යේෂකයෙකු මෙන් ම දකුණු ආසියානු ඩයස්පෝරාව පිළිබඳ පොඩ්කාස්ටර් විශේෂඥවරියක වන රාගිනී කාශ්‍යප් the Food Chain වැඩසටහනට පවසයි.

ආසියානු, අප්‍රිකානු සහ දකුණු ඇමෙරිකානු කලාපීය රටවල ආහාර පිසීමේදී බහුලව භාවිත වන කහ වර්ග 30ක් පමණ තිබේ. නමුත් නැගෙනහිරින් බාලි සහ ෆීජි යන පැසිෆික් දූපත් සහ බටහිරින් කැරිබියන් දූපත් දක්වා දකුණු ආසියානු ප්‍රජාව භාවිත කිරීමෙන් පසු එය ලොව පුරා ප්‍රචලිතව තිබේ.

'ප්‍රබල පණිවිඩයක්'

වසර 2,500කට පෙර ලියැවුණු ලේඛනවල ද කහ ගැන සඳහන් වී තිබෙන බව සොයාගෙන ඇතැයි කාශ්‍යප් පවසයි. එය දකුණු ආසියාවේ සෑම තැනක ම දක්නට ලැබෙන අතර එහි විෂබීජ නාශක සහ ප්‍රදාහය සමනය කරන ගුණාංග ඇති බවට ගැඹුරින් මුල් බැසගත් විශ්වාසයක් පවතී.

"මම අසනීප වන අවස්ථාවකදී, මුලින් ම හිතන්නේ ඒක ගැන, ඒකට හරි ම සැනසිලිදායක හැඟීමක් දැනෙනවා. එයින් සුවපහසුව, ඖෂධ, අතීතය මතක් කිරීමක් සිදුවෙනවා" මේ වන විට ඩුබායිහි ජීවත් වන කාශ්‍යප් පැහැදිලි කරයි.

ඉන්දියාවේදී, එය හල්දි උත්සවයේ කොටසක් ද වේ - පැහැපත්භාවය සඳහා ආලේපනයක් ලෙස එය මුහුණේ ගැල්වීම පූර්ව මංගල චාරිත්‍රයකි.

Group of female members of the Indian bride's family and friends gather around her, applying turmeric paste during the Haldi ritual. The women are wearing bright yellow saris, with yellow jewels on their foreheads and henna on their hands. 

ඉන්දියානු මනාලියගේ පවුලේ කාන්තා සාමාජිකාවන් සහ මිතුරියන් පිරිසක් ඇය වටා එක්වී, හල්දි චාරිත්‍රය අතරතුර ඇගේ සිරුරේ කහ ආලේප කරති. එම කාන්තාවන් දීප්තිමත් කහ පැහැති සාරිවලින් සැරසී සිටින අතර, නළලේ කහ පැහැති ආභරණ පැළඳගෙන ඇති අතර, දෑත්වල හෙනා රටාද දක්නට ලැබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හින්දු ප්‍රජාවන් තුළ, කහ සශ්‍රීකත්වයේ සහ සමෘද්ධියේ සංකේතයක් ලෙස විවාහ මංගල්‍ය වැනි උත්සව අවස්ථාවලදී භාවිත කෙරේ

බටහිර රටවල පාරිභෝගිකයන් ද මෙම පෞරාණික මත පිළිබඳව දැනුවත් වී ඇති බැවින් මේ වන විට අලෙවිය වේගයෙන් ඉහළ යමින් පවතී.

කහ අඩංගු අතිරේක ආහාර තුළ - සාමාන්‍යයෙන් එහි සෞඛ්‍ය සම්පන්න ගුණාංග සඳහා හේතු වන බවට බොහෝවිට විශ්වාස කරන කර්කියුමින් සංයෝගය අඩංගු වේ. මේවා අස්ථි සහ සන්ධිවල සෞඛ්‍යය වැඩි දියුණු කිරීමේ සිට ප්‍රතිශක්තිකරණ පද්ධති ඉහළ නැංවීම දක්වා සෑම දෙයක් සඳහා උපකාරී වන බව පවසමින් ඒවා අලෙවි කෙරේ.

කහ භාවිතයෙන් ඔවුන් ලද ධනාත්මක අත්දැකීම් මිනිසුන් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගැනීම එහි ජනප්‍රියත්වයට දායක විය හැකි බව කාශ්‍යප් පැහැදිලි කරයි

"බිලියනයකට ආසන්න ජනතාවක් කහවලට විවිධ සෞඛ්‍ය ගැටලු සුව කළ හැකි බව දැඩි ලෙස විශ්වාස කරනවා නම්, එය ලොව පුරා පැතිරෙන ප්‍රබල පණිවිඩයක් වෙනවා. ඒකට බලපෑම් කරන්න අතිරේක නිෂ්පාදන සමාගම් සහ ඒ වගේ දේවලුත් එකතු වුණා ම, ඒක ගොඩක් ප්‍රබල පණිවිඩයක් බවට පත්වෙනවා," ඇය පවසයි.

'නරක ම රසායනික ව්‍යුහය'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නමුත් ඇතැම්හු එහි ප්‍රතිලාභ පිළිබඳව සැක පළ කරති. එක්සත් ජනපදයේ මිනසෝටාහි රසායන විද්‍යාඥවරියක වන ආචාර්ය කැත්‍රින් නෙල්සන්, කර්කියුමින් පිළිබඳ පර්යේෂණ පත්‍රිකා 100කට වැඩි සංඛ්‍යාවක් සමාලෝචනය කර ඇත.

''ඒකට හැම දෙයක් ම කරන්න පුළුවන් කියලා කියනවා. ඒත් යථාර්ථයේදී බොහෝ වෙලාවට ඒකෙන් ලොකු දෙයක් වෙන්නේ නැහැ," ඇය පවසයි.

කහ සම්බන්ධයෙන් පවතින ගැටලුව එහි රසායනික සංයුතිය තුළ පැවතිය හැකි අතර එයින් අදහස් කෙරෙන්නේ එය අධ්‍යයනය කිරීමට පහසු නොවන බව යැයි වෛද්‍ය නෙල්සන් පැහැදිලි කරයි. කහ ඉතා ඉක්මනින් වෙනත් ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරන අතර, පරීක්ෂණවලදී බාධා ඇති කරන සංයෝගයක් ලෙස ක්‍රියා කළ හැකි යි. එහි ප්‍රතිඵලයක් ලෙස, ඇත්ත වශයෙන් ම ක්‍රියා නොකරන අවස්ථාවකදී පවා එය ක්‍රියා කරන බවක් පෙනෙන්නට පුළුවන්.

එය ශරීරයට හොඳින් අවශෝෂණය නොවන බවත්, මුඛයෙන් ලබා ගත් විට ඉතා සුළු ප්‍රමාණයක් රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වන බවත් ඇය පවසයි. මෙය වැඩිදියුණු කර ගැනීමට උත්සහ කිරීම සඳහා බොහෝ පුද්ගලයින් එය ලබා ගන්නේ ගම්මිරිස් සමග ය.

"ඒක ඇත්තට ම යම් දෙයක්, ප්‍රයෝජනවත් ඖෂධයක් බවට පිළියෙළ කිරීම ආරම්භ කිරීමට උත්සහ කිරීම තුළ පවතින නරක ම රසායනික ව්‍යුහවලින් එකක්,'' වෛද්‍ය නෙල්සන් පවසයි.

'අපි කලකිරීමට පත් වුණා'

Small glass dish containing medicine capsules of turmeric. On the right is a wooden spoon with the ground spice. 

කහ අඩංගු ඖෂධීය කැප්සියුල් සහිත කුඩා වීදුරු බඳුනක්. දකුණු පසින් අඹරාගත් කහ කුඩු සහිත ලී හැන්දක් ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍යවරු පවසන්නේ, අතිරේක ආහාර (supplement) ලෙස ලබා ගන්නා කහ සෞඛ්‍යයට ප්‍රතිලාභ ලබා දෙන බව පෙන්වීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැති බව ය.

දශක ගණනාවක් පුරාවට කහ පිළිබඳ පුළුල් ලෙස පර්යේෂණ සිදුකර ඇති නමුත් ප්‍රතිඵල බොහෝවිට පරස්පර වන අතර එම අධ්‍යයන ගුණාත්මකභාවයෙන් වෙනස් වේ.

එහි පවතින වාසි පෙන්වා දෙන බොහෝ අධ්‍යයන මිනිසුන් පදනම් කර ගනිමින් සිදු කර නොමැති බව කැනඩාවේ, ඔන්ටාරියෝහි පිහිටි ලන්ඩන් සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානයේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අමිත් ගාර්ග් පවසයි.

ඔහු සහ ඔහුගේ කණ්ඩායම මේ දක්වා විශාලතම අධ්‍යයන දෙකක් සිදු කර ඇත. පළමුවැන්න වූයේ කර්කියුමින් මගින් ධමනි විස්තාරණය (ධමනියක බිත්තිය දුර්වල වීම නිසා සිදුවන ඉදිමීම හෝ පිම්බීම) සඳහා ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයින්ගේ වකුගඩුවල තුවාල සහ ප්‍රදාහය වළක්වා ගත හැකි ද යන්න තහවුරු කිරීම ය. නමුත් රෝගීන් 600ක් සම්බන්ධ කරගෙන සිදු කළ අත්හදා බැලීමකදී කහ කිසිදු ප්‍රයෝජනවත් බලපෑමක් ඇති බව තහවුරු කර ගත නොහැකි විය.

ඉන්පසු ඔවුන් වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට කර්කියුමින් ක්ෂුද්‍ර අංශු ඉතා කුඩා ප්‍රමාණයක් ලබා දුන්නේ, එය ඔවුන්ගේ වකුගඩුවල සෞඛ්‍යය වැඩිදියුණු කළේ ද? නැතහොත් එය ඔවුන්ගේ වකුගඩු රෝගයේ ප්‍රගතිය වළක්වන්නේ ද? යන්න සොයා බැලීමට යි. නමුත් එය එසේ වන බවට තහවුරු කළ හැකි සාක්ෂි ඔවුන්ට සොයාගත හැකි නොවී ය.

"අපිට කනගාටු යි, මොක ද අපි මේ පරීක්ෂණයට එකතු වුණේ විවෘත මනසකින්. ඒක ක්‍රියා නොකරන බව පෙන්වන එක නෙමෙයි අපේ අරමුණ වුණේ," ඔහු පවසයි.

එහෙත්, විශේෂයෙන්ම ඉන්දියාවේ වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් එය ඖෂධයක් ලෙස භාවිත කළ ඉතිහාසයක් තිබීම අපට පැහැදිලි කළ හැක්කේ කෙසේද?

කාබනික ද්‍රව්‍යයකින් එක් ස්වාභාවික සංයෝගයක් පමණක් වෙන් කරගෙන එය ඖෂධයක් බවට පත් කිරීමට උත්සහ කිරීම සහ එම සම්පූර්ණ කාබනික ද්‍රව්‍ය ආහාර පිසීමේදී භාවිත කිරීම හෝ සම මත ආලේප කිරීම අතර පැහැදිලි වෙනසක් පවතින බව වෛද්‍ය ගාර්ග් පවසයි.

එසේ නම්, මිල අධික අතිරේක ආහාරවල වටිනාකමක් ඇති බව විශේෂඥයින් සිතනවා ද?

පිරිවැය මෙන් ම, ඒවා ප්‍රතිඵල ගෙන දෙන බවට ද ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසන මහාචාර්ය ගාර්ග් ස්වභාවික සෞඛ්‍ය නිෂ්පාදන, අනෙකුත් ඖෂධ නිෂ්පාදන මෙන් සමාන නියාමනයකට මුහුණ නොදෙන බව ද පැහැදිලි කරයි.

"මම හිතන්නේ අපිට අනිවාර්යයෙන් ම විවෘත මනසකින් කටයුතු කරන්න පුළුවන්. නමුත්, යම් දෙයක යම් බලපෑමක් තිබෙනවා කියලා අපි කියනවා නම් ඒක උසස් තත්ත්වයේ සාක්ෂි මත පදනම් වෙන්න ම ඕනේ," ඔහු පවසයි.

නමුත්, මිනිසුන් තම ආහාර වේලක කොටසක් ලෙස කහ රස විඳීමේ කිසිදු ගැටලුවක් ඔහු දකින්නේ නැත.

"මිනිසුන් කහ යොදා සාදන ආහාර රසවිඳිනවා නම්, ඔවුන් එය දිගට ම කරගෙන යන ලෙස මම දිරිමත් කරනවා."