81 හැවිරිදි ලූලා සිව්වන වරටත් බ්‍රසීල ජනපති පුටුවට

    • Author, මරීනා රොසී
    • Role, BBC පුවත් බ්‍රසීලය
    • වාර්තාකරණය, සාඕ පවුලෝ
    • Author, ලියන්ඩ්‍රෝ ප්‍රසෙරෙස්
    • Role, BBC පුවත් බ්‍රසීලය
    • Author, වැනසා බුෂ්ෂ්ලූටර්
    • Role, ලතින් ඇමරිකානු සංස්කාරක
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

බ්‍රසීලයේ ප්‍රවීණ වාමාංශික ජනාධිපති ලුවීස් ඉනාසියෝ ලූලා ද සිල්වා, දැඩි තරගකාරී මැතිවරණ ව්‍යාපාරයකින් අනතුරුව පැවති දෙවන වටයේ ඡන්ද විමසීමේදී තම දක්ෂිණාංශික ප්‍රතිවාදියා වන ෆ්ලේවියෝ බොල්සොනාරෝ පරාජය කරමින් යලි තේරී පත් විය.

බ්‍රසීල උත්තරීතර මැතිවරණ අධිකරණය නිවේදනය කරන පරිදි, සමස්ත ඡන්ද ගණන් කිරීමේ නිල ප්‍රතිඵල අනුව ලූලා සියයට 51.79ක් සහ බොල්සොනාරෝ සියයට 48.21ක් වශයෙන් ඡන්ද ප්‍රතිශත ලබාගෙන ඇත.

බොල්සොනාරෝ මෙතෙක් සිය පරාජය පිළිගෙන නැත. මැතිවරණ ප්‍රතිඵලය 'වටහාගත නොහැකි' යැයි හඳුන්වමින්, ඔහු තම ආධාරකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලීමක් කරන බවයි. බ්‍රසීල ඉතිහාසයේ කිසිදු ජනාධිවරණ මැතිවරණයක් මෙතෙක් අවලංගු කර නොමැත.

අඟහරුවාදා (ඔක්: 27) සිය 81 වැනි උපන්දිනය සමරන ලූලා, තම ජයග්‍රාහී කතාවේදී, "බ්‍රසීල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම" වෙනුවෙන් වීදි බැස සිටි තරුණ ඡන්දදායකයින්ව අගය කළේය.

සිව්වන ධූර කාලය සඳහා වූ ඔහුගේ ගමන පහසු එකක් නොවීය. 1988දී බ්‍රසීලය ප්‍රජාතන්ත්‍රවාදයට යළි පිවිසීමෙන් පසුව පළමු වටය පරාජය වී පසුව ජනාධිපති ධුරය ජයගත් පළමු නායකයා ඔහුය. අමතර දෙවන ධූර කාලයක් සඳහා යළි තේරී පත්වීම ද පෙර නොවූ විරූ සිදුවීමකි.

ලතින් ඇමරිකාව පුරා මෑතකදී දක්නට ලැබුණු, බලයේ සිටින පාලකයන්ට ඡන්දදායකයන් දඬුවම් කිරීමේ සහ දේශපාලනිකව දක්ෂිණාංශය දෙසට නැඹුරු වීමේ ප්‍රවණතාවට පටහැනි ගමන් මගක් ලුලා අනුගමනය කළේය.

පළමු වටයේ පරාජයෙන් පසුව, ලූලාගේ මැතිවරණ ව්‍යාපාරය නැවතත් සක්‍රීය විය. ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ අතර, ඊට සමගාමීව වීදි උද්ඝෝෂණ ද සංවිධානය කළේය.

දේශපාලන කණ්ඩායම් දෙකෙහිම ඉල්ලීම්වලට අනුව, අවසන් වටයේ (දෙවැනි වටයේ) ඡන්ද විමසීමේ කාලය පැය දෙකකින් දීර්ඝ කරන ලදී. නගර කිහිපයකම බස් රථ හිඟය හේතුවෙන් ඡන්දදායකයින් වැළැක්වීමේ උත්සාහයක් පැවති බවට ලූලාගේ පාර්ශ්වය චෝදනා කළ අතර, දකුණු දිග ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව බොල්සොනාරෝගේ පාර්ශ්වය සිය අවධානය යොමු කළේය.

ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, "මැතිවරණයේ නීති වෙනස් කළ" බැවින් තමන්ට අවශ්‍ය වන්නේ ප්‍රතිඵල අවලංගු කරවා ගැනීමක් බව බොල්සොනාරෝ පැවසීය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විරෝධතාවයක් ද ඇතුළුව, දේශීය හා විදේශීය වශයෙන් පවතින දැඩි බාධක මධ්‍යයේ, ලූලාගේ නව ධුර කාලය 2027 ජනවාරි 5 වැනිදා ආරම්භ වීමට නියමිතය.

කොලොම්බියාවේ සහ හොන්ඩියුරාස් දේශපාලන කරළියේ ජයග්‍රහණය සනිටුහන් කළ දක්ෂිණාංශික අපේක්ෂකයන්ට මෙන් ෆ්ලේවියෝ බොල්සොනාරෝ හට ට්‍රම්ප්ගේ ඍජු ආශිර්වාදය හිමි නොවීය. එසේ වුවද, මිලියන 213ක දැවැන්ත ජනගහනයක් වෙසෙන මෙම දේශයේ පාලන බලය ගතානුගතික නායකයෙකු සතු වනු දැකීම ට්‍රම්ප් රජයේ අපේක්ෂාව වූ බව පැහැදිලිය.

ධවල මන්දිරය ලතින් ඇමරිකාව සලකනු ලබන්නේ ඇමෙරිකානු බලපෑමට යටත් කලාපයක් ලෙස වන අතර, බටහිර අර්ධගෝලය තුළ පවතින චීන බලපෑම අවම කිරීමට ට්‍රම්ප් පරිපාලනය දැඩි උනන්දුවක් දක්වයි.

ඛනිජ තෙල් සම්පතින් පොහොසත්, මෙන්ම ලොව දෙවැනි වෙළෙඳපොළ වටිනාකම ඇති දුර්ලභ ගණයේ ඛනිජ සංචිතවලට හිමිකම් කියන බ්‍රසීලය, දක්ෂිණාංශික නායකයෙකු විසින් පාලනය නොකරනු ලබන දකුණු ඇමෙරිකාවේ එකම විශාලතම රට වන අතර, එහි නායක ලූලා පොදුවේ සැලකෙන්නේ චීනයට හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නෙකු ලෙසය.

ඇමෙරිකාව සමඟ වඩාත් දැඩි සබඳතාවක් ගොඩනැඟීමට බොල්සොනාරෝ ප්‍රතිඥා දී තිබුණ ද, ලූලා එරට මැතිවරණ ක්‍රියාවලියට ඇඟිලි නොගසන ලෙස වොෂින්ටනයට බලකර සිටියේය. එමෙන්ම බ්‍රසීලය කිසිදා 'අන්‍යයන්ගේ අණසකට යටත්' නොවන බව ද ඔහු දැඩිව කියා සිටියේය.

ලූලා ලැබූ මෙම ජයග්‍රහණය පරිසර හිතකාමීන්ගේ සතුටට හේතු වනු නොඅනුමානය. ෆ්ලේවියෝ බොල්සොනාරෝ බලයට පත්වුවහොත් බ්‍රසීලයේ දේශපාලනය හසුරුවන මහා පරිමාණ කෘෂිකාර්මික හා පතල් ක්ෂේත්‍රයන්හි බලය තවත් තහවුරු වනු ඇතැයි පරිසරවේදීන් තුළ පැවැති බිය මෙමඟින් තුරන් වී තිබේ.

ඔහුගේ පියා වූ ජෙයාර්ගේ පාලන සමයේදී ඇමේසන් කලාපයේ සිදු වූ වාර්තාගත වන විනාශය සහ ලැව්ගිනි පිළිබඳව පරිසරවේදීන් මීට පෙර අවධාරණය කර තිබිණි. එබැවින්, බාල බොල්සොනාරෝ යටතේ වඩාත් ලිහිල් සහ අඩුවෙන් නියාමනය වූ පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුවහොත්, මෙම තීරණාත්මක පරිසර පද්ධතිය යළිත් වරක් මහා විනාශයකට ඇද වැටෙනු ඇතැයි ඔවුහු පෙන්වා දුන්හ.

ඔහුගේ ජයග්‍රහණය පිළිබඳව ඔහුගේ ආධාරකරුවන් ඉමහත් ප්‍රීතියෙන් පසුවන නමුත්, ඔහුගේ දක්ෂිණාංශික ප්‍රතිවාදියා වෙනුවෙන් 48.21%ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබීමෙන් පෙනී යන්නේ රට තවදුරටත් දැඩි ලෙස බෙදී පවතින බවයි.

දේශපාලනික වශයෙන් දැඩි ලෙස බෙදී වෙන්වී ඇති ජනතාවක් එකම ධජයක් යටතේ පෙළගැස්වීමේ අපහසු කාර්යයට අමතරව, බ්‍රසීල ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ දරුණුතම දක්ෂිණාංශික බලපෑමක් සහිත පාර්ලිමේන්තුවක් සමඟ කටයුතු කිරීමට ලූලාට සිදුවේ. මෙවර මැතිවරණයේදී විශිෂ්ටතම ජයග්‍රහණයක් අත්කර ගනිමින් පාර්ලිමේන්තුව තුළ තම බලය තහවුරු කරගැනීමට ෆ්ලේවියෝ බොල්සොනාරෝගේ ලිබරල් පක්ෂය සමත්ව සිටීම ඊට හේතුවයි.

මෙම මැතිවරණය බ්‍රසීල ඉතිහාසයේ 'නව මාවතක් විවර කරන තීරණාත්මක කඩඉමක්' වනු ඇති බව මැතිවරණය පැවැත්වීමට පෙර ලූලා ප්‍රකාශ කර තිබිණි.

'පාලන තන්ත්‍රයේ නව මාවතක්' හරහා බ්‍රසීලයේ බෙදී පවතින දේශපාලන පාර්ශ්වයන් ඒකාබද්ධ කිරීමට ඔහු ප්‍රතිඥා දුන්නේය. එමෙන්ම මැතිවරණයට ප්‍රථම වට්ස්ඇප් සජීවී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, 'මෙම දේශය මින්පසු කිසි දිනෙක පැරණි මාවතට නොයනු ඇති' බවයි.

මෙම නව පාලන ක්‍රමය කෙසේ ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව ඔහු වැඩි විස්තර ඉදිරිපත් නොකළ නමුත්, "සියලු දෙනාට අවස්ථා හිමිවන, ජනතාවගේ අවශ්‍යතා ඉලක්ක කරගත් ප්‍රතිපත්ති සහිත, වඩාත් සාධාරණ රටක් වෙනුවෙන් වන අරගලයේ තමන් ස්ථාවරව රැඳී සිටින" බව අවධාරණය කළේය.

තමන්ට එරෙහි බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවකට මුහුණ දීමට සිදුවීම හේතුවෙන්, මෙම ප්‍රවීණ දේශපාලනඥයාට මෙවර මුහුණ දීමට සිදුවන දේශපාලන සටන ඔහුගේ පෙර ධූර කාල තුනටම වඩා බෙහෙවින් අසීරු වනු ඇත. විශේෂයෙන්ම මෙම නිල ධූර කාලය නිමාවන විට ඔහු 85 වැනි වියට පා තබන වයෝවෘද්ධ නායකයෙකු වීම ද ඊට බලපාන තවත් හේතුවකි.