ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පලෙයි රක්ෂිතයේ LTTE කඳවුරක් ඇතැයි කී සැකකරු ගැන අධිකරණය දුන් නියෝගය
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
LTTE සංවිධානයට අයත් කඳවුරක් පලෙයි රක්ෂිතයේ ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කරන ලදැයි චෝදනා කරමින් රිමාන්ඞ් භාරයට පත් කර සිටි සැකකරු ලබන 16 වන දා දක්වා තවදුරටත් රඳවා තැබීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියම කළේ ය.
මෙම නියෝගය කළේ, සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදි පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ය.
එලෙස යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ, අන්තර් මහද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා බව කියන සංගීත් ජයසේකර නමැත්තෙකි.
නඩුකරය කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අධිකරණයට ඉදිරිපත් කළ කරුණු
නඩුකරය කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළහ.
ඔවුන් දැනුම් දුන්නේ, අන්තර් මහද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්යක්ෂ ලෙස තමන් හඳුන්වා ගනිමින් සැකකරු මාධ්‍ය හමුවක් පවත්වා කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනගාරයක් ඇති බවට කරුණු ඉදිරිපත් කර ඇති බව ය.
සැකකරු ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක් භාවිත කර ඇති බවට ද තොරතුරු අනාවරණය වන බව දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු, සැකකරුගේ දුරකතන ඇමතුම් වර්තා සම්බන්ධයෙන් මෙන් ම, ජාතික හැඳුනුම්පත් 3ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට ඇති බව ද දැනුම් දුන්හ.
සිද්ධියට අදාලව සැකකරුවත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීම්වලදී කිලිනොච්චි ප්‍රදේශයේ අඩවි වන නිලධාරියෙකුගේ ඉගැන්වීම මත මෙම පදනම් විරහිත ප්‍රකාශය කළ බවට සැකකරු හෙළි කර ඇති හෙයින් අදාළ අඩවි වන නිලධාරියාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබා ගත් අවස්ථාවේදී තමන් එවැන්නක් නොකියූ බව පවසා ඇතැයි දැනුම් දුන් නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, අඩවි වන නිලධාරියා සම්බන්ධ කර සැකකරු පවසා ඇත්තේ සම්පූර්ණ අසත්‍ය කරුණක් බව ය.
කොළඹ ප්‍රදේශය හෝටලයකදී සැකකරු පසුගිය අගෝස්තු 14 වන දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කිලිනොච්චියේ පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ. කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇතැයි දැනුම් දුන් නිලධාරීහු එවැනි ප්‍රකාශ මගින් සාමයට බාධාවක් මෙන් ම, මහජන කැළඹීමක් ඇති වීමට හැකියාවක් ඇතැයි ද පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කිලිනොච්චි ප්‍රදේශයට විමර්ශන කණ්ඩායමක් සමග පොලිස් සුනඛයන් යවා පරීක්ෂා කළ ද එහි බෝම්බ කම්හලක් ඇති බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව නිලධාරීහු දැනුම් දුන්හ.
එම ප්‍රදේශයේ දෙමළ ජනතාව පලෙයි රක්ෂිතයට ගොස් වගා කටයුතු සහ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධයෙන් පලෙයි පොලිසිය මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර නඩු පවරා ඇතැයි ද ඔවුහු දැනුම් දුන්හ.
සැකකරු මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශ පොලිස්පතිවරයා විසින් ඊට පසු දිනයේදී ම ප්‍රතික්ෂේප කර ඇතැයි ද, පලෙයි රක්ෂිතය තුළ නීති විරෝධී ආකාරයෙන් ගොවි පොළක් සහ ඇඟළුම් කම්හලක් ඉදිකරමින් සිටි ද්‍රවිඩ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පවරා ඇතැයි ද දැනුම් දුන් නිලධාරිහු සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශනය කරන හෙයින් සැකකරු රිමාන්ඞ් භාරයේ තබන්නැයි ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රිමාන්ඞ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය ලබන 16 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කළේ ය.