මධ්‍යම අධිවේගයට සම්බන්ධ වන මාර්ග ජාලයේ සංවර්ධනයට රු. බිලියන 104.9ක්: සංවර්ධනය වන මාර්ග මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, RDA Sri Lanka
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
දැනට ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ වන මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 104.9ක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ කොටස් හතරකින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පවතින මාර්ග ජාලය සමග සම්බන්ධ කිරීම සඳහා සම්බන්ධ මාර්ග සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත.
ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ගයට සම්බන්ධ වන මාර්ග ජාල අතර කාර්යක්ෂම සම්බන්ධතාව, ප්‍රවේශ්‍යතාව සහ රථවාහන ප්‍රවාහය වැඩිදියුණු කිරීම මින් අපේක්ෂා කරයි.
මෙම ව්‍යාපෘතිය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ I, III සහ IV කොටස් සඳහා සම්බන්ධක මාර්ග සංවර්ධනය කරනු ලබයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ I කොටස යටතේ සංවර්ධනය වන මාර්ග
මධ්‍යම අධිවේගී මාර්ගයේ I කොටස සඳහා කිලෝමීටර් 117.68ක දිගකින් යුත් සම්බන්ධක මාර්ග 12ක් මෙම ව්‍යාපෘතියට අයත් වේ.
ජා ඇල, ඒකල, ගම්පහ සිට යක්කල මාර්ගයේ කිලෝමීටර් 17.02ක්, මිනුවන්ගොඩ, ගම්පහ, මිරිස්වත්ත මාර්ගයේ කිලෝමීටර් 13.27ක්, මුදුන්ගොඩ සිට ගම්පහ ඔරුතොට මාර්ගයේ කිලෝමීටර් 5.15ක් මෙන් ම කළගෙඩිහේන, වේයන්ගොඩ මාර්ගයේ කිලෝමීටර් 4.10ක් සංවර්ධනය කිරීමට මෙයින් බලාපොරොත්තු වේ.
එම කොටසේ වේයන්ගොඩ, කල්එළිය මාර්ගයේ කිලෝමීටර් 7.45ක්, වේයන්ගොඩ, රුවන්වැල්ල මාර්ගයේ කිලෝමීටර් 4.30ක්, උඩුගම්පළ, දිවුලපිටිය මාර්ගයේ කිලෝමීටර් 14.88ක් සහ කටුනායක, වේයන්ගොඩ මාර්ගයේ කිලෝ මීටර් 13.32ක් මීට අයත් ය.
එමෙන් ම, මීගමුව, මීරිගම මාර්ගයේ කිලෝමීටර් 12.97ක්, කොටදෙනියාව, මීරිගම මාර්ගයේ කිලෝමීටර් 8.05ක්, පස්යාල, ගිරිඋල්ල මාර්ගයේ කිලෝමීටර් 6.31ක් සහ වරකපොල, කණ්ඩලම මාර්ගයේ කිලෝමීටර් 10.86ක් මෙම කොටසට අයත් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
III කොටස යටතේ සංවර්ධනය වන කිලෝ මීටර් 83ක මාර්ග
මධ්‍යම අධිවේගී මාර්ගයේ III කොටස සඳහා කිලෝමීටර 83.98ක දිගකින් යුත් සම්බන්ධක මාර්ග 14ක් සංවර්ධනය කිරීමට මෙම ව්‍යාපෘතියෙන් යෝජනා කර තිබේ.
ඒ අනුව පොල්ගහවෙල, කෑගල්ල මාර්ගයේ කිලෝමීටර් 10.97ක්, රඹුක්කන, මාවනැල්ල මාර්ගයේ කිලෝමීටර් 5.5ක් බුළුගොල්ල - දොම්බේමැද්ද, වහව මාර්ගයේ කිලෝමීටර් 1.86ක් මෙන් ම හෑදෙණිය, මැදවල, පූජාපිටිය මාර්ගයේ කිලෝමීටර් 4.10ක් සංවර්ධනය කෙරේ.
ඊට අමතරව කරඬුපාන, රඹුක්කන මාර්ගයේ කිලෝමීටර් 8.89ක්, ඇල්දෙණිය, ඊරියගම මාර්ගයේ කිලෝමීටර් 9.96ක්, බරිගම, හල්ඔළුව මාර්ගයේ කිලෝමීටර් 5.62ක් මේ යටතේ සංවර්ධනය කිරීමට යෝජනා කර තිබේ.
කටුගස්තොට බයි පාස් මාර්ගයේ කිලෝමීටර් 0.53ක්, කටුගස්තොට, කුරුණෑගල, පුත්තලම මාර්ගයේ කිලෝමීටර් 13.40ක්, පේරාදෙණිය, හල්ඔළුව, කටුගස්තොට මාර්ගයේ කිලෝමීටර් 7ක්, පූජාපිටිය, අලවතුගොඩ මාර්ගයේ කිලෝමීටර් 8.10ක් කටුගස්තොට - මඩවල, බඹරැල්ල මාර්ගයේ කිලෝමීටර් 0.90ක් සහ මඩවල, රජවැල්ල මාර්ගයේ කිලෝමීටර් 4.50ක් මෙම කොටසින් සංවර්ධනය කෙරේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ IV කොටස යටතේ සංවර්ධිත මාර්ග
කිලෝමීටර 81.36ක දිගකින් යුත් සම්බන්ධක මාර්ග 09ක් මධ්‍යම අධිවේගී මාර්ගයේ IV කොටස සඳහා මෙම ව්‍යාපෘතියෙන් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
නුවර, යාපනය මාර්ගයේ කිලෝමීටර් 9ක්, දඹුල්ල, බකමූණ, කළගහවෙල මාර්ගයේ කිලෝමීටර් 0.80ක් මෙන් ම, අඹේපුස්ස, කුරුණෑගල, ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් කිලෝ මීටර් 3.10ක් මෙම කොටසින් සංවර්ධනය කිරීමට නියමිත වේ.
එමෙන්ම, තෝණිගල, කලාවැව, ගලේවෙල මාර්ගයේ කිලෝමීටර් 11.10ක්, පළාපත්වල, ගලේවෙල මාර්ගයේ කිලෝමීටර් 28.35ක්, මැල්සිරිපුර-මිල්ලවන, පල්ලේපොළ මාර්ගයේ කිලෝමීටර් 2.70ක්, මැල්සිරිපුර රඹේ මාර්ගයේ කිලෝමීටර් 22.80ක්, තල්ගොඩපිටිය, යටවත්ත, දොඹවෙල මාර්ගයේ කිලෝමීටර් 1.50ක් සහ රිදීගම, ලිහිණිවැහැර මාර්ගයේ කිලෝමීටර් 2.01ක් මේ යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
මෙම සම්පූර්ණ සම්බන්ධක මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය 2026-2030 කාලසීමාව තුළදී ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
එමෙන් ම, මේ වන විට ඉදිකිරිම් සිදුවන මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු 2028 වසර වන විට අවසන් කිරීමට රජය සැලසුම් කර තිබේ.


































