ගුරු පත්වීම් 23006ක් පිරවීමට සම්මුඛ පරීක්ෂණ සූදානම්: බඳවා ගැනීම් සිදුවන්නේ මෙහෙම යි

ඡායාරූප මූලාශ්රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ශ්රී ලංකා ගුරු සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා පැවති තරග විභාගයේ ප්රතිඵල මත ගුරුවරුන් බඳවා ගැනීමේ පළමු අදියර ආරම්භ කර තිබේ.
අධ්යාපන නියෝජ්ය අමාත්ය මධුර සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට පැවසුවේ, මූලික අදියර සඳහා අපේක්ෂකයින් 17,000ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට කටයුතු යොදා ඇති බව ය.
මේ වන විට දිවයින පුරා, පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 23,006ක් පවතින බව ඔහු ප්රකාශ කළේ ය.
මතුව ඇති ගැටලු මොනවා ද?
මෙම ගුරු බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවවලට ගැටලු කිහිපයක් මතු වී තිබූ බව නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ ය.
"මූලිකම කාරණය වෙලා තිබ්බේ 17,000ක සංඛ්යාව කියන නිර්ණායකය එහෙම නැත්නම් සංඛ්යාව තියෙන්න ඕනේ කොහොම ද කියන එක. මේ සම්බන්ධයෙන් 2023 තමයි ඒ විභාගය කැඳවලා තිබ්බේ. ඊටපස්සේ ඒ සම්බන්ධයෙන් නඩු තීන්දුවක් තිබුණා, එකඟතාවක් තිබ්බා උසාවිය ඉදිරියේ. ඊටත් පසුව, මේ හා සමානව මේ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරලා තිබ්බා. එතැනදීත් යම්කිසි නිර්දේශ වගයක් මත තමයි, මේ විභාගය පැවැත්වුණේ.
එතකොට ඒ විභාගයට මේ නීතිමය කරුණු පොදුවේ බලපානවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි සඳහන් කළා මේ අපිට තියෙන සමහර කාරණා, මෙතැනදී අපිට ටිකක් අමාරුයි සමහර කාරණා මේ වෙද්දී නිරාකරණය කර ගන්න. මොක ද මේ නීතිමය රාමුව ඇතුළත එකඟතාව මත තමයි මේ කාරණා සිද්ධ කර ගන්න වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම, මේ නිශ්චිත සංඛ්යාව තීරණය වෙන්නෙත් ඒ 2023ට අදාළව තියෙන පුරප්පාඩු සංඛ්යාව අනුව.
මෙම මූලික වටය තමයි කැඳවෙන්නේ. ඊට පසුත් මේ 17,000න් පසුවත් නැවත වටයක හෝ වට කිහිපයක වෙන්න පුළුවන් මේ සම්මුඛ පරීක්ෂණ කැඳවීම් කරන්න ඉඩකඩක් තියෙනවා. මොක ද අපිට මේ 23,006 ම පිරවිය යුතු යි.
බඳවා ගැනීම් සිදු කරන ක්රමවේදය කුමක් ද?
ගුරුවරුන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් මාසය වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෙසේ වෙතත්, එක් අයැදුම්කරුවෙකුට විෂයයන් කිහිපයක් සඳහා අයැදුම් කිරීමට අවස්ථාව සලසා ඇති හෙයින් ඒ ඒ විෂයයන්ට අදාළව සම්මුඛ පරීක්ෂණ වට කිහිපයක් පැවැත්වීමට සිදුවනු ඇතැයි නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ ය.
"මේකේ සංකීර්ණත්වයක් තියෙන්නේ විෂයයන් හතරක් ඉල්ලන්න පුළුවන් එක අපේක්ෂකයෙකුට. ඊළඟට පළාත් සහ ජාතික විදිහට දෙවාරයක් ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ එක්කෙනෙක් අට වතාවක් සුදුසුකම් ලබනවා පුරප්පාඩු අටකට. එතකොට පළවෙනි වටයේදී ඔවුන් පුරප්පාඩු වට අටකට ම සලකලා බලලා තමයි දෙවැනි වටයක් යන්නේ. ඒ නිසා මේකේ සංකීර්ණත්වයක් තියෙන හින්දා ඊළඟට තව එක කාරණාවක් තමයි, සමහර විෂයන්වලට සමත් වීම් වෙලා නැහැ. සමහර විෂයයන්වලට සමත් වෙලා තියෙන සංඛ්යාව පුරප්පාඩුවලට වඩා අඩු යි. ඉතින් ඔය සංකීර්ණතා ඔස්සේ තමයි අපිට මේ පුරප්පාඩු ගණනය කිරීම් සහ අවසානයේදී වට නිර්ණය කිරීමක් කරන්න වෙන්නේ. එතකොට ඒ නිසා අපිට ඒ කොච්චර ප්රමාණයක්, වට කීපයක් යයි ද කියන එක හරියට ම කියන්න බැහැ. නමුත් අපි පුළුවන් තරම් උත්සහ කරන්නේ මේ අවුරුද්ද අවසන් වීමට පෙර, එහෙම නැත්නම් ලබන අවුරුද්ද මුල වෙනකොට මේ කටයුතු ඉවර කර ගන්න."
'පදිංචියට ළඟ ම පාසලක් ලබා දෙන්න උත්සහ කරනවා'
දුෂ්කර ප්රදේශවල පිහිටි පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දුෂ්කර සේවාවලට යොමු කරන ඇතැම් ගුරුවරුන්ගෙන් නිසි සේවයක් ඉටු නොවීම සම්බන්ධයෙන් ගත හැකි පියවර සම්බන්ධයෙන් ද මෙහිදී නියෝජ්ය අමාත්යවරයාගෙන් බීබීසී සිංහල සේවය විමසීමක් කළේ ය.
දුෂ්කර සේවා පත්වීම් ලබා ගන්නා බොහෝ ගුරුවරුන් සහ ගුරුවරියන් තමන් පදිංචි ප්රදේශවලට ස්ථාන මාරු ලබා ගැනීමට උත්සහ දරන අතර ඔවුන්ගෙන් නිසි සේවයක් ඉටු නොවන අවස්ථා ඇති බව නිරීක්ෂණය වන අතර ඒ සම්බන්ධයෙන් ද විමසීමක් කළෙමු.
"ඔව්, දැනට අපිට තියෙන ලොකු ම ගැටලුවක්, සංකීර්ණත්වයක් තමයි ඔය කියන කාරණාව. ඒ කියන්නේ අපිට තියෙනවා ගුරුවරු, විශේෂයෙන් ම උදේ හවස ලොකු දුර ප්රමාණයක් ගමන් කරනවා. ඊළඟට අපිට උවමනාව තියෙන්නේ ඇත්තට ම දිස්ත්රික්කය තුළ හෝ ළඟ තියෙන පාසලක් ලබා දෙන්න, විෂයට අදාළව අනුකූලව. ඉතින් ඒ නිසා අපි මෙම පත්වීම් සම්බන්ධයෙන් අපිට නිශ්චිතව කියන්න පුළුවන්, ඉල්ලීම් කළේ මෙම පත්වීම්වලට අදාළව මුලින් ම... මේ ඉල්ලීම් කළේ පළාත් සහ ජාතික මට්ටමෙන් තමයි ඔය අපේක්ෂකයන්. එතකොට පළාත් මට්ටමෙන් වුණොත් තමන් ඉන්න පළාතේ තමයි ඊට අදාළව පාසල ලැබෙන්නේ. එතකොට යම්කිසි මට්ටමක ඒ සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන් ඒ පළාත ඇතුළත තමයි ලැබෙන්නේ කියලා. පළාත ඇතුළත වුණත් පුළුවන් තරම් ආසන්න තැනකට දෙන්න පුළුවන්."
ආසන්න තැනකට දෙන්න පුළුවන්. දැන් ජාතික මට්ටමෙන් ගත්තොත් නම් ජාතික පාසල් ආවරණය වෙනවා. එතකොට ඊළඟට තමයි, ඊළඟ කාරණාව මින් එහාට ගිහිල්ලා අපි ගත්තොත් එහෙම ගුරු අභ්යාස විද්යාපීඨ, දිස්ත්රික් මට්ටමෙන් තමයි එකක්, ජාතික මට්ටමෙන් එකක්. එතකොට දිස්ත්රික් මට්ටමෙන් ඉන්න කෙනාට දිස්ත්රික්, අඩු ගාණේ දිස්ත්රික්කය ඇතුළත පාසලක් ලැබෙනවා. එතකොට දැන් මේ පත්වීම් දෙක ම අපි බලාපොරොත්තු වෙන්නේ අවුරුදු පහක් අනිවාර්ය සේවයක් කරන්න ඕනේ කියන කාරණාව, ට්රාන්ස්ෆර් වෙන්න කලින්. එතකොට මේක අපි අනිවාර්යයෙන් ම ක්රියාත්මක කරනවා.
ඉතින් ඒක තමයි පළවෙනි කාරණාව ළඟ තියෙන පාසලක් ගුරුවරුන්ට දෙන්න. ඊටපස්සේ දැන් අපිට සංකීර්ණත්වයක් තියෙන්නේ සමහර ට්රාන්ස්ෆර් ක්රියාවලි. මාරුවීම්වලදී පළාත් සහ ජාතික මට්ටමෙන් කරන මාරුවීම්වලදී පළාත සහ ඒ ජාතික ඒ දෙක අතර තුළ වෙන ගුරු තුලනයන් ටිකක් අමාරු සංකීර්ණත්වයක් තියෙනවා. මොකද බඳවා ගැනීම් දෙපැත්තක වෙලා තියෙන නිසා.
ඒ නිසා එතැනදී අපිට අර අර තියෙන සංකීර්ණත්වයක් තියෙනවා. නමුත් අපිට මේ මේ මේ මොහොතේදී අපිට කියන්න පුළුවන් අර බඳවා ගැනීම් දෙකේදී ම එකක් ජාතික විද්යාපීඨ දිස්ත්රික් මට්ටමෙනුත්, මේක පළාත් මට්ටමෙනුත් යම්කිසි මට්ටමක අපිට ළඟ පාසලක් දීමේ හැකියාව මේ වෙද්දී තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්."
ගුරුවරුන්ගේ දත්ත පද්ධතියක්
මේ අතර, ශ්රී ලංකාවේ ගුරුවරුන්ගේ දත්ත පද්ධතියක් සකස් කිරීමට ද පියවර ගන්නා බව අධ්යාපන නියෝජ්ය අමාත්යවරයා පැවසීය.
"අපි මේ වෙනකොට මෙම ගුරුවරුන් සියල්ලගේ ම දත්ත පද්ධතිය 'නෙමිස්' (NEMIS) කියලා ඩේටාබේස් එකකට අපි එකතු කරනවා. එතකොට දැන් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන්නේ, මෙම දත්ත පද්ධතිය ඇතුළත සියලු ගුරුවරුන්ගේ සියලු වාර්තා තියා ගන්න. කොච්චර කාලයක් ඉන්නවා ද?, මොකක් ද විෂය?, කොතැනද ඉන්නේ?, කොතැන ද හිටියේ?, කොච්චර කාලයක් හිටියා ද?, මොන තත්ත්වයෙන් ද ඉන්නේ? අන්න ඒ නිසා අපිට ඊට පස්සේ ඉදිරියේදී මෙම ලංකාව පුරා ම තියෙන දත්ත පද්ධතියක් හින්දා ගුරුවරුන් ස්ථානගත කරනකොට මේ දත්ත පද්ධතිය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒකත් පහසුවක් වෙනවා."



































