දිට්වා සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුවීමට බලපෑ හේතු මොනවා ද? මානව හිමිකම් කොමිසම නිර්දේශ නිකුත් කරයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

මීට වසරකට පමණ පෙර ජීවිත හා දේපළ විනාශ කරමින් මෙරට සිදුවූ විශාලතම ස්වාභාවික ව්‍යසනයක් ලෙස සැලකෙන දිට්වා සුළි කුණාටුවෙන් පසුව රාජ්‍ය ආයතන හා බලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිලිවලට අදාළ නිර්දේශ නිකුත් කර තිබේ.

මහින්ද දේශප්‍රිය, ආචාර්ය අජන්තා පෙරේරා, සී. අමරසිංහ සහ එස්. එරන්ද ගුණදාස යන අය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි විභාග කරමින් එම නිර්දේශ නිකුත් කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සභාපතිවරයා, වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම පැමිණිලිවල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

අදාළ පැමිණිලි දීර්ඝ ලෙස විභාගයට ලක් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පිටු 58ක නිර්දේශ සහිත වාර්තාවක් නිකුත් කර තිබේ.

පැමිණිලිකරුවන්ගේ චෝදනා සහ ඉල්ලීම්

මහින්ද දේශප්‍රිය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල හරහා 2025 නොවැම්බර් 26 සිට 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට බලපෑ ස්වභාවික ආපදාවලදී හානි අවම කිරීමට රාජ්‍ය ආයතන නිසි පූර්වෝපාය ගෙන තිබේ ද? යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් ඉල්ලා සිටී.

ආචාර්ය අජන්තා පෙරේරා සිය පැමිණිල්ල මගින් ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (IMD) අනතුරු ඇඟවීම් නිසි ලෙස හඳුනා නොගැනීම නිසා පුද්ගලයින් 600කට අධික පිරිසක් මිය යාම බරපතළ පරිපාලන දුර්වලතාවක් බව පෙන්වා දී තිබිණි.

ජංගම දුරකතන කෙටි පණිවිඩ මගින් කඩිනමින් ජනතාව දැනුවත් නොකිරීම, කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පෙර පහත් බිම් ජනතාව සූදානම් නොකිරීම, විදුලිය හා සන්නිවේදනය බිඳ වැටීම සහ ඉන්ධන ලබා ගැනීමේ ගැටලු සම්බන්ධයෙන් සී. අමරසිංහ සිය පැමිණිල්ලෙන් චෝදනා කරයි.

කොත්මලේ ජලාශයේ වාන් දොරටු හදිසියේ සහ පූර්ව දැනුම් දීමකින් තොරව විවෘත කිරීම නිසා ගම්පොළ ප්‍රදේශයට ඇති වූ ගංවතුර තත්ත්වයට මහවැලි අධ්‍යක්ෂ ජනරාල් සහ ජලාශ භාර ඉංජිනේරුවරයා වගකිව යුතු බවට සිය පැමිණිල්ල හරහා එස්. එරන්ද ගුණදාස චෝදනා කර තිබේ.

රාජ්‍ය ආයතනවල ප්‍රතිචාර මොනවා ද?

2025 නොවැම්බර් 23 දින සිට අඩු පීඩන කලාප පිළිබඳ පූර්ව හඳුනා ගැනීම් සිදු කර ඇති අතර, නොවැම්බර් 25 වන දින ප්‍රථම "රතු" අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවත්, SOP ක්‍රියාපටිපාටියට අනුව නොවැම්බර් 27 සිට 30 දක්වා කාලය තුළ රතු නිවේදන 31ක් නිකුත් කරමින් නිරන්තරයෙන් පාර්ශවකරුවන් දැනුවත් කර ඇති බවත් දන්වා චෝදනාවලට පිළිතුරු ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දී තිබේ.

මේ අතර, 2025.11.25 දින සිට සියලු ම ගංගා සඳහා ඇම්බර් මට්ටමේ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කළ බවත්, ඩෑෂ් බෝඩ් (Dash Board) හරහා පැය 24 පුරා ජල මට්ටම් අධීක්ෂණය කරමින් අදාළ ආයතන හා මාධ්‍ය නිරන්තරයෙන් දැනුවත් කළ බවත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව දැනුම් දී තිබේ.

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පාලනය කරමින්, 2025.11.26 සහ 27 දිනවල වාන් දොරටු විවෘත කිරීමට පෙර මාධ්‍ය, ප්‍රාදේශීය නිලධාරීන්, පොලිසිය සහ WhatsApp සමූහ හරහා නිලධාරීන් දැනුවත් කර ඇති බව සඳහන් කරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය දැනුම් දී ඇත්තේ, පැමිණිලිකරුගේ ගණනය කිරීම් සහ චෝදනා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බව ය.

එමෙන් ම, 2025.11.17, 20, 24 සහ 26 යන දිනවල Zoom ඔස්සේ සම්බන්ධීකරණ රැස්වීම් පවත්වා ඇති අතර, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග එක්ව ආපදා අවම කිරීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය චෝදනාවලට ප්‍රතිචාර දක්වා තිබේ.

තව ද, අදාළ රාජ්‍ය ආයතන විසින් එම වකවානුවේදී ගනු ලැබූ ක්‍රියාමාර්ග, පවත්වන ලද සාකච්ඡා සහ මහජනයා දැනුවත් කිරීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධව එම ආයතන විසින් ලබා දී ඇති වාර්තාවන් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිකුත් කරන ලද නිර්දේශ සහිත වාර්තාවේ අන්තර්ගත වේ.

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ජූලි මස 22 වන දින මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය, කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා, කොමසාරිස් ටී. ධනරාජ්, අධ්‍යක්ෂ (පරීක්ෂණ හා විමර්ශන) සුමනලාල් වීරසිංහ, මානව හිමිකම් නිලධාරී මේඛලා හෙට්ටිආරච්චි යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සහ පැමිණිලිකාර ආචාර්ය අජන්තා පෙරේරා, සී. අමරසිංහ සහ වගඋත්තරකාර රාජ්‍ය ආයතන වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කොත්මලේ ජලාශය භාර අධ්‍යක්ෂ, මහවැලි අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු සකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු සිය විශ්ලේෂණයට ඇතුළත් කර ඇත.

ජීවිතයට ඇති අයිතිය සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයකට ඇති අයිතිය, සෞඛ්‍යයට ඇති අයිතිය, අධ්‍යාපනයට ඇති අයිතිය, කාන්තා හා ළමා අයිතිවාසිකම්, අධ්‍යාපනයට ඇති අයිතිය, තොරතුරු ලබා ගැනීමේ අයිතිය මෙන් ම ආරක්ෂිතව ඉවත් කිරීමේ අයිතිය වැනි කරුණු සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ වාර්තාවේ කරුණු දක්වා තිබේ.

මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිර්දේශ මොනවා ද?

දිට්වා ආපදාව ජාතික තලයේ ඇති වූ එකක් බැවින්, ඒ සම්බන්ධ පැමිණිල්ල හා වගඋත්තරකරුවන්ගේ කරුණු දැක්වීම මත පමණක් නොව ඒ සම්බන්ධ විද්‍යාත්මක අධ්‍යයනයන් කෙරෙහි ද අවධානය යොමු කරමින් සිය නිර්දේශ නිකුත් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

ඒ අනුව, සියලු කරුණු සලකා බලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉදිරියේදී මෙවැනි ආපදා තත්ත්වයන් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කර තිබේ.

1. කාලගුණ අනතුරු ඇඟවීම් ලබා ගැනීම, තහවුරු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි අන්තර් ආයතනික සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කළ යුතු ය.

2. දුරකතන හා විදුලි බල පද්ධති අක්‍රිය වූ අවස්ථාවලදී ද ක්‍රියාත්මක කළ හැකි විකල්ප සන්නිවේදන පද්ධති පොලිස් ස්ථාන, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, ජලාශ සහ ප්‍රාදේශීය පරිපාලන ආයතන සමග සම්බන්ධීකරණය කරන ක්‍රමවේදයක් සකස් කර ගත යුතු ය.

3. අවදානම් ප්‍රදේශවල ආරක්ෂිත ස්ථාන, ඉවත් කිරීමේ මාර්ග සහ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේද කලින් හඳුනාගෙන, ඒ සඳහා අදාළ ප්‍රජාව සමග පුහුණු හා අභ්‍යාස පැවැත්විය යුතු ය.

4. ජලාශ ආශ්‍රිතව සයිරන් පද්ධති නිසි පරිදි ස්ථාපනය කර, ඒවායේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් පරීක්ෂා කළ යුතු අතර, සයිරන් නාද කිරීමේ නිශ්චිත නිර්ණායක සහ වගකීම් පැහැදිලිව නියම කළ යුතු ය.

5. හදිසි අවස්ථාවලදී ජනතාවට ලබාදෙන පණිවිඩ සරල, පැහැදිලි, නිවැරදි සහ කාලෝචිත විය යුතු අතර, එක් එක් ආයතනය වෙනස් පණිවිඩ නිකුත් කිරීම වැළැක්වීම සඳහා ඒකාබද්ධ සන්නිවේදන ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු ය.

6. ආපදා අවස්ථාවකදී එක් එක් රාජ්‍ය ආයතනයේ වගකීම්, බලතල සහ වගවීම පැහැදිලිව නිර්වචනය කළ යුතු අතර, වගකීම් වෙනත් ආයතන වෙත පැවරීමේ ප්‍රවණතාව වළක්වා ගනිමින් ඒකාබද්ධ සම්බන්ධිකරණ යාන්ත්‍රයන් සකස් කර ගත යුතු ය.

7. ජනතාව වෙත කෙරෙන සියලු සන්නිවේදන කටයුතු සිංහල, දෙමළ භාෂාවලින් මෙන් ම අවශ්‍ය අවස්ථාවලදී සංඥා භාෂාව ද යොදා ගැනීම කළ යුතු ය.

8. සමස්ත සිද්ධිය සම්බන්ධයෙන් වගකීම් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය විධිමත් ලෙස සමාලෝචනය කර, හඳුනාගත් අඩුපාඩු නැවත සිදු නොවන පරිදි ආපදා ප්‍රතිචාර අවධානයට ගනිමින් ජාතික මට්ටමේ ක්‍රියාකාරී සැලැස්මක් යාවත්කාලීන කළ යුතු ය.

නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ලබා දී ඇති කාලය

වගඋත්තරකරුවන් සාමූහිකව සාකච්ජා කර අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන පියවර පිළිබඳව වාර්තාවක් 2026.12.30 වන දිනට ලැබීමට සලස්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වගඋත්තකරුවන්ට දැනුම් දී ඇත.

එමෙන් ම, එකී නිර්දේශ ක්‍රියාත්මක කර ඉදිරිපත් කිරිමට නියමිත දින සිට සතියක කාලයක් තුල මෙම නිර්දේශ ක්‍රියාත්මක වීම හෝ නොවීම සම්බන්ධව පැමිණිලිකරු ද කොමිෂන් සභාවට දැනුම් දිය යුතු වන අතර, එදිනට පෙර අදාළ දැනුම් දීම සිදු නොකරන්නේ නම් පසුව ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා නොබලන බව කොමිෂන් සභාව පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාවේ පිටපත් ජනාධිපතිවරයාට, ආරක්ෂක අමාත්‍යවරයාට, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරුන්ට සහ සෞඛ්‍ය හා ජන ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කර ඇත.