ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඔර්නබ්' සුළි කුණාටුවට නම ලැබුණේ කොහොම ද? ශ්රී ලංකාවට ඉන් ඇති බලපෑම් මොනවා ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
බෙංගාල බොක්ක ආශ්රිතව වර්ධනය වූ ගැඹුරු පීඩන අවපාතය මේ වන විට සුළිකුණාටුවක් බවට වර්ධනය වී තිබේ. එය නම් කර ඇත්තේ, ඔර්නබ් ලෙස ය. සාමාන්ය පීඩන අවපාත තත්ත්වයන් සුළි කුණාටුවක් දක්වා තීව්ර වී, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 62 ඉක්මවූ විට පමණක් එය නම් කිරීමේ නිල ක්රියාවලිය සිදුවේ.
'ඔර්නබ්' (Ornab/Arnab) සුළි කුණාටුවට එම නම ලබා දුන්නේ, බංග්ලාදේශය යි. බෙංගාලි භාෂාවෙන් එහි සරල අර්ථය වන්නේ "මහ සාගරය" හෝ "මුහුද" යන්න ය.
'ඔර්නබ්' යන නාමය බංග්ලාදේශය විසින් යෝජනා කරන ලද්දකි. එය ලෝක කාලගුණ විද්යා සංවිධානය (WMO) සහ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය කොමිසම (ESCAP) මගින් 2020 අප්රේල් මාසයේදී නිල වශයෙන් පිළිගත් නිවර්තන සුළි කුණාටු නාම ලේඛනයට ඇතුළත් කර ඇත.
මෙම නිල නාම ලේඛනය බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, ඕමානය, පකිස්ථානය, කටාර්, සෞදි අරාබිය, ශ්රී ලංකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්යය සහ යේමනය යන රටවල් 13ක දායකත්වයෙන් සමන්විත වේ.
එම එක් එක් රටක් විසින් නාමයන් 13 බැගින් යෝජනා කරනු ලැබ ඇති අතර, ඒ අනුව සමස්ත ලේඛනයට ඇතුළත් කර ඇති නම් සංඛ්යාව 169කි. බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ඇතුළත් වන උතුරු ඉන්දීය සාගර කලාපය තුළ නිවර්තන සුළි කුණාටු වර්ධනය වන විට, මෙම නාමයන් අනුපිළිවෙළින් භාවිත කරනු ලැබේ.
ඉන්දීය කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවට අනුව, නිවර්තන සුළි කුණාටු මෙලෙස නම් කිරීම මගින් මහජනතාවට එක් එක් කාලගුණ පද්ධතීන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමටත්, ඒවායේ වර්ධනය පිළිබඳව අවධානයෙන් පසුවීමටත් උපකාරී වේ. එමෙන් ම, එක ම කාලසීමාවක් තුළ සුළි කුණාටු කිහිපයක් ඇති වන අවස්ථාවලදී සිදුවන ව්යාකූලතා වළක්වා ගැනීමට ද මෙමගින් ඉඩ සලසයි.
සුළි කුණාටු නම් කිරීමේ ඉතිහාසය හා පරිණාමය
ආරම්භයේදී සුළි කුණාටු නම් කිරීම කිසියම් නිශ්චිත ක්රමවේදයකින් තොරව, අභිමතය පරිදි සිදු කරන ලදී. පසුව, 1900 දශකයේ මැද භාගයේදී කුණාටු සඳහා කාන්තා නාමයන් භාවිත කිරීමේ සම්ප්රදාය ආරම්භ විය.
වඩාත් සංවිධානාත්මක මෙන් ම කාර්යක්ෂම නාමකරණ පද්ධතියක් සකස් කිරීමේ අරමුණින්, පසුව කාලගුණ විද්යාඥයින් විසින් අකාරාදී පිළිවෙළට සකස් කරන ලද නාම ලේඛනයක් ඇසුරින් කුණාටු හඳුනා ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව, වසරක මුලින් ම ඇති වන සුළි කුණාටුව සඳහා 'A' අකුරින් ආරම්භ වන නමක් (උදාහරණයක් ලෙස 'Anne') ලබා දීම සිදුවිය. 1900 දශකය අවසන් වීමට පෙර, දක්ෂිණ අර්ධ ගෝලයේ වර්ධනය වන සුළි කුණාටු සඳහා පිරිමි නාමයන් භාවිත කිරීම ද කාලගුණ අනාවැකිකරුවන් විසින් ආරම්භ කරන ලදී.
1953 වර්ෂයේ සිට අත්ලන්තික් කලාපීය නිවර්තන සුළි කුණාටු නම් කිරීම සඳහා ජාතික සුළි කුණාටු මධ්යස්ථානය විසින් සකස් කරන ලද නාම ලේඛන භාවිතයට ගැනිණි. වර්තමානය වන විට එම ලේඛන නඩත්තු කිරීම සහ යාවත්කාලීන කිරීම සිදු කරනු ලබන්නේ ලෝක කාලගුණ විද්යා සංවිධානයට (WMO) අනුබද්ධ ජාත්යන්තර කමිටුවක් මගිනි.
'ඔර්නබ්' සුළි කුණාටුවෙන් ලංකාවට වන බලපෑම කුමක් ද?
කාලගුණ විද්යා දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ කියා සිටියේ, ඔර්නබ් සුළිකුණාටුවෙන් ශ්රී ලංකාවට ඍජු බලපෑමක් නොමැති වුවත්, එහි වක්ර බලපෑම නිසා ලබන 28 වන දා දක්වා දිවයිනේ නිරිත දිග ප්රදේශවල වැසි තත්ත්වය වැඩි විය හැකි බව ය.
"මේ සුළි කුණාටුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක්, ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි කියලා. අද රාත්රියේදී, ඒ කියන්නේ අද මධ්යම රාත්රිය වගේ වන විට එය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්.
ඒ වගේ ම හෙට දිනයේදී, ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝදුරට ඉඩකඩ තියෙනවා. 28 වෙනි දිනයේදී මෙය ඉන්දියාවේ ගොඩබිමට ඇතුළු වෙනවා. මෙයින් ඍජු බලපෑමක් ලංකාවට ඇත්තට ම නැහැ. නමුත් ඍජු බලපෑමක් නැතත් මෙහි වක්ර බලපෑමක් අපිට අද, හෙට, අනිද්දා වගේ දින තුනේදී ම (26, 27, 28) අපේක්ෂා කරන්න පුළුවන්," අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ය.
මේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව ඔහු කියා සිටියේ ය.
"විශේෂයෙන් ගත්තොත් උතුර, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, මධ්යම සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ත්රිකුණාමලය දිස්ත්රික්කයෙත් අපි බලාපොරොත්තු වෙනවා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි කියලා. ඒ වගේ ම අද දිනය ගත්තහම, හෙට දිනයෙත් මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් දක්වා වගේ තද වැසි අපි අපේක්ෂා කරනවා.
ඒ වගේ ම ඌව පළාත, අම්පාර, මඩකලපුව වගේ දිස්ත්රික්කවල සවස් කාලයේ හෝ සාමාන්යයෙන් එකෙන් පස්සේ වගේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේ ම කියන්න ඕනේ මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක වගේ තද සුළං අපි අද දිනයෙත්, හෙට දිනයෙත් මෙම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අපේක්ෂා කරනවා," අජිත් විජේමාන්නගේ කියා සිටියේ ය.
"ඒ වගේ ම මහජනතාවට විශේෂයෙන් ම කියන්න ඕනේ, මේ ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං, අකුණු අනතුරු ඇති වෙන්න පුළුවන්. ඒවයින් වැළකී සිටීමට පියවර ගන්න කියලා."
ධීවර ප්රජාවට අනතුරු අඟවීම්
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ ගැඹුරු ප්රදේශවලට යාත්රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ධීවර ප්රජාවට දැනුම් දී තිබේ.
"ධීවර ජනතාවගෙන් සහ නාවික ප්රජාවෙන් අපි ඉල්ලා සිටින්නේ මධ්යම සහ නැගෙනහිර මධ්යම, බටහිර මධ්යම – විශේෂයෙන් ම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ ගැඹුරු ප්රදේශවලට යාත්රා කිරීමෙන් වළකින්න කියලා. මොක ද ඒ ප්රදේශයේ සුළඟ තද යි, මුහුද රළු යි. ඒ නිසා අපි එම ප්රදේශයේ ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස ඉල්ලා සිටිනවා."