ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නැගෙනහිර වෙරළේ ඛනිජ වැලි: රටේ ඊළඟ විශාල අපනයන සම්පත ද? තවත් පාරිසරික අර්බුදයක් ද?
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 16
ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාත සුන්දර වෙරළ තීරයන් සඳහා සංචාරක ගමනාන්ත රැසක් පිහිටා ඇති පළාතකි.
නමුත් මේ සුන්දර වෙරළ තීරයන් තුළ සුන්දරත්වයට වඩා වැඩි යමක් සැඟවී තිබේ. මේ වෙරළේ තිබෙන්නේ සාමාන්‍ය වැලි පමණක් නොවේ. මේ වැලි තලයේ ලෝකයේ ඉහළ ම ඉල්ලුමක් පවතින රූටයිල් (Rutile), ඉල්මනයිට් (Ilmenite) වැනි බර ඛනිජ වැලි වර්ග අඩංගු වේ.
ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි කැණීම ආරම්භ වී ඇත්තේ, රජයේ සමාගමක් වන සීමාසහිත ලංකා ඛනිජ වැලි සමාගම හරහා 1960 දශකයේදී ය.
ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසාන කාලයේ සිට මේ ඛනිජ වැලි කැණීම සම්බන්ධයෙන් ඇති හැකියාව සෙවීමට සහ ගවේෂණය කිරීමට පෞද්ගලික සමාගම් එක්ව සිටියි.
අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගත් මෙම ඛනිජ වැලි කැණීම්, ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සමාගම්වලට අනුව ඩොලර් බිලියනයක පමණ විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගෙන එන කර්මාන්තයකි.
කෙසේ නමුත්, මෙයින් ඇති විය හැකි පාරිසරික බලපෑම මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ ජන ජීවිතයට බලපෑමක් සිදු කරනු ඇති බවට එම ජනතාව සැක පළ කරති.
දැනටමත් මුහුණ දෙන ප්‍රශ්නයක්
ඒ අනුව මෙම ව්‍යාපෘති දියත් කිරීමට යෝජිත නැගෙනහිර පළාතේ පිහිටි කතිරවේලි සහ තිරුක්කෝවිල් යන වෙරළබඩ ප්‍රදේශවල දැනට පවතින තත්ත්වය විමසා බැලීමට බීබීසී සිංහල අපි පසුගිය දවසක එම ප්‍රදේශවල සංචාරයක නිරත වීමු.
එහි ගිය අපට පැහැදිලි වූ දෙයක් නම් ඒ වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ට වෙරළ ඛාදනය යනු අනාගතයේ ඇති විය හැකි අවදානමක් නොව, දැනටමත් මුහුණ දෙමින් සිටින ගැටලුවක් බව ය.
මේ ප්‍රදේශ දෙක ම දැනට ඛනිජ වැලි කැණීම් සිදු කිරීමට බලාපොරොත්තු වන සමාගම් විසින් ගවේෂණ බලපත්‍ර ලබාගෙන ගවේෂණ කටයුතු අරඹා ඇති ප්‍රදේශ දෙකකි.
දැනට එම ගවේෂණ බලපත්‍ර කල් ඉකුත් වී පවතින අතර, ඒ, 2023 වරෙන් පසුව මෙතෙක් බලපත්‍ර අලුත් කිරීම තාවකාලිකව නවතා ඇති හෙයිනි.
දැනටමත් විශාල වශයෙන් මුහුදු ඛාදනයට ලක්ව ඇති මේ ප්‍රදේශවල ජනතාවට සැකයක් බවට පත්ව ඇත්තේ, මේ ඛනිජ වැලි කැණීම් හරහා වෙරළ ඛාදනය තවදුරටත් වැඩි වී ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට බලපෑම් සිදු වේ ද යන්න පිළිබඳව ය.
තිරුක්කෝවිල් ප්‍රදේශයේ ගුරුවරයෙකු සහ පරිසර ක්‍රියාකාරිකයෙකු වන නිත්‍යානන්ද රාජා අපව තිරුක්කෝවිල් වෙරළ තීරය වෙත රැගෙන ගියේ ය.
එම වෙරළ තීරය තියුණු ලෙස වෙරළ ඛාදනයට ලක්ව ඇති ආකාරය එහිදී අපට දැකගත හැකි විය. එහි තිබූ කෝවිල ඉදිරිපස කොටසේ ගල් වැටියක් යොදා වෙරළ ඛාදනයට බාධකයක් ඉදි කර තිබූ නමුත්, ගල්වැටිය නොමැති සීමාව දැඩි ලෙස ඛාදනයට ලක්ව තිබුණේ, ධීවරයන්ගේ විවේකාගාරය ද දෙකඩ කරමිනි.
තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාවෙන් අප සිදු කළ විමසීමකදී එහි ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය අපට පැවසුවේ, මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව පානීය ජලය ලෙස භාවිත කරන්නේ ළිං ජලය බව ය. නල ජලය භාවිත කරන්නේ අතිශය සුළු ප්‍රතිශතයක් බව ඇය අපට පැවසුවා ය.
මේ ප්‍රදේශයේ ජනතාව කාලයක පටන් මේ ඉල්මනයිට් කැණීමට අවසර ලබා දීමට විරෝධය පළ කරමින් විරෝධතා පවත්වා තිබේ. මෑතකදී තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාව විසින් එම ප්‍රාදේශීය සභාවේ බල සීමාවට අයත් මහා මාර්ග ඇතුළු යටිතල පහසුකම් මේ සමගාම්වලට භාවිත කිරීමට ඉඩ නොදීමට යෝජනාවක් සම්මත කර ගනු ලැබූ බවත් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය පැවසුවා ය.
කතිරවේලි ප්‍රදේශයේත් ජනතාව වැඩි වශයෙන් පානීය ජලය ලෙස භාවිත කරන්නේ, ළිං ජලය ය. ඔවුහු ඒ ජලය යොදා ගනිමින් රටකජු වැනි වගාවන්වල ද නිරත වෙති.
ඛනිජ වැලි කැණීම තුළින් වෙරළ ඛාදනය ඉහළ යාම සහ කළපුවලට බලපෑමක් සිදුවේ ද? යන්න සහ, ඔවුන්ගේ භූගත පිරිසිදු ජල මුලාශ්රවලට ලවණ ජලය මිශ්‍ර වීම සහ ඒ හරහා ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතා සහ ගොවිතැන් කටයුතුවලට බලපෑමක් වේ ද? යන බිය ඔවුන් ඉදිරියේ තිබේ.
කතිරවෙලි ප්‍රදේශයේ රටකජු වගාවේ නිරත වන දේවේන්ද්‍රන් ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූයේ ය.
"අපේ ගම මුහුද හා ඔය අතර මැද කිලෝමීටරයක පමණ සීමාවේ ජීවනෝපායන් සිදුකරමින් සිටිනවා. රටකජු, මුං හා බඩ ඉරිඟු වගා කිරීම සිදුකරමින් ජීවත් වෙනවා.
අපිට දැන් තිබෙන ලොකු ම ප්රශ්නය මේ ඉල්මනයිට් කැණීම. මොකද කියනවා නම් භූ ගත ජලය කෙලින්ම විනාශ වෙනවා. භූගත ජලය විනාශ වුණොත් මෙහේ ජීවත්වන ජනතාවට මෙහෙ ජීවත් වෙන්න බැරි වෙනවා.අපිට වෙන ප්‍රදේශවලට මාරුවෙලා ජීවත්වෙන්න වෙනවා," ඔහු පැවසුවේ ය.
මේ ඛනිජ වැලි නිර්මාණය වෙන්නේ කොහොම ද?
මේ බර ඛනිජවල උපත සිදුවන්නේ කෙසේ ද? අපි මුලින් ම ඒ ගැන ඒ ගැන සොයා බලමු.
මේ ගැන බීබීසී සිංහල විසින් පතල් හා ඛනිජ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය කිත්සිරි දිසානායකගෙන් විමසීමක් සිදු කරන ලදී.
ඔහු පැවසුවේ, පාෂාණ දිරාපත් වීමෙන් සෑදෙන මෙම ඛනිජ අංශු, ගංගා හරහා මුහුදට එක්වී නැවත වාරකන් මුහුදු රළ සමග වෙරළට ගොඩ ගසන බව ය. එලෙස මුහුදට එක්වන ඛනිජවලින් වෙරළට ගොඩගසන්නේ බර ඛනිජ ලෙස හඳුන්වන ඉල්මයිට්, රූටයිල් වැනි ඛනිජ වර්ග ය.
මෙම වෙරළ තීරයන් කළු පැහැයෙන් දිස් වන්නේ මේ නිසා ය.
ශ්‍රී ලංකාවේ වෙරළේ තැන්පත් වී ඇති ඛනිජ වැලි විශේෂ වන්නේ ඇයි?
ලෝකයේ අනෙක් රටවල තැන්පත් වී ඇති ඛනිජ සාන්ද්‍රණයට සාපේක්ෂව, ලංකාවේ නැගෙනහිර වෙරළේ ඛනිජ සාන්ද්‍රණය 30% සිට 35% දක්වා ඉහළ අගයක් ගන්නා බව මේ සම්බන්ධයෙන් නැගෙනහිර වෙරළේ ගවේෂණ කටයුතු සිදු කළ සමාගම් ද ඇතුළත් ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමය බීබීසී සිංහල සමග පැවති සාකච්ඡාවකදී පෙන්වා දුන්නේ ය.
මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකට අනුව පුල්මුඩේ වෙරළ තීරයෙන් ලබාගත් සාම්පලවල 70%ත්-85%ත් අතර ද, වෙරුගල් ප්‍රදේශයේ සාම්පලවල 45%ත් 50%ත් අතර වැනි ඉහළ ඛනිජ ප්‍රතිශතයක් පවතින බව මහාචාර්ය කිත්සිරි දිසානායක පවසයි.
නමුත් මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ මේවා විශේෂිත පර්යේෂණ සාම්පල නිසා මුළු වෙරළ තීරයේ ම මේ හා සමාන ලෙස කැණීම් සිදු කර ඒ මට්ටමින් ම ඛනිජ ලබා ගැනීමට හැකි බවට තක්සේරු කළ නොහැකි බව ය.
ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි කැණීමේ ඉතිහාසය
1957 තරම් ඈත කාලයකට දිව යන ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය ආරම්භ වන්නේ, ලංකා ඛනිජ වැලි සංස්ථාව පිහිටුවීමත් සමග ය. මේ සමාගම වර්තමානයේ හැඳින්වෙන්නේ ලංකා මිනරල් සෑන්ඩ්ස් නමිනි.
1961දී පළමු වරට ඉල්මනයිට් කර්මාන්ත ශාලාවක් ඉදි කළ මේ සමාගම, 1963දී වාණිජමය වශයෙන් නිෂ්පාදන කටයුතු ඇරඹීය. මේ සමාගම පුල්මුඩේ ප්‍රදේශය ආශ්‍රිතව සිය ඛනිජ වැලි කැණීම් ආරම්භ කර මේ දක්වා ක්‍රියාත්මක වෙයි.
තිරුක්කෝවිල් ප්‍රදේශයේ ඛනිජ වැලි කැණීම් සිදු කිරීමට බලාපොරොත්තු වන කැපිටල් මෙට්ල්ස් සමාගම ඇතුළු සමාගම් කිහිපයක් එක්ව පිහිටුවා ගන්නා ලද ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමය (SLMSA) පෙන්වා දෙන්නේ, ඛනිජ වැලි කර්මාන්තය හරහා විශාල වශයෙන් අපනයන ආදායමක් ලබා ගත හැකි වුවත් මෙතෙක් ඉහත සමාගම හරහා ලබා ගෙන ඇත්තේ, සුළු අපනයන ආදායමක් බව ය.
ඔවුන් පෙන්වා දෙන්නේ, නිසි ප්‍රතිපත්තිමය තීරණ ගතහොත්, වසර 5කට අඩු කාලයකදී මෙම ක්ෂේත්රයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වාර්ෂික අපනයන ආදායමක් සහ ඩොලර් බිලියනයක ඍජු විදේශ ආයෝජන (FDI) රටට ගෙන ආ හැකි වනු ඇති බව ය.
එමෙන් ම, දැනටමත් ගවේෂණ කටයුතු සඳහා ඩොලර් මිලියන 50ක් පමණ වැය කර තිබෙන බවත් ඔවුහු පවසති.
අප සමග අදහස් දැක්වීමේදී ඔවුන් මතු කළ තවත් කරුණක් වන්නේ, මේ කර්මාන්තය හරහා තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා 24,000ක් පමණ ඉදිරියේදී ඇති කළ හැකි බව ය.
එමෙන් ම මේ සාමාජික සමාගම් පුත්තලම සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතවත් කැණීම සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.
නීතිමය පසුබිම හා ගැටලු
ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකා සීමාවේ පවතින සියලු ම ඛනිජවල අයිතිය පවතින්නේ, ශ්‍රී ලංකා ජනරජයට යි.
ඉඩමේ අයිතිය පෞද්ගලික විය හැකි නමුත් ඛනිජ සම්පත් කැණීම් කරන්නේ නම්, ඒ සඳහා අවසරයක් ලබා ගත යුතු ය. එනම් බලපත්‍රයක් ලබා ගත යුතු ය.
මේ සඳහා, 1992 අංක 33 දරන පතල් හා ඛනිජ පනත, 2009 අංක 66 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය සංශෝධන පනත වැනි පනත් සහ කලින් කලට පනවා ඇති රෙගුලාසි හරහා මේ සම්බන්ධ නීතිමය පසුබිම සකස් වී තිබේ.
මේ නීතිවලට අනුව යම් සමාගමක් විසින් ඛනිජ වැලි කැණීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පළමුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හරහා ගවේෂණ බලපත්‍රයක් ලබා ගත යුතු ය.
මේ ගැන වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී එම කාර්යාංශයේ සභාපති සමන් එන්. ජයසිංහ හමුවීමට බීබීසී සිංහල වෙත අවස්ථාව ලැබිණි.
එහිදී ඔහු මෙම බලපත්‍ර ලබා දීමේදී ඇති වී තිබූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විස්තර කළේ ය.
"පහුගිය කාල සීමාව තුළ මේ රජය බලයට එනකල්, ගවේෂණ බලපත්‍ර දීලා තියෙන්නේ ෆස්ට් කම් ෆස්ට් සර්ව් කියන බේසිස් එකේ. කවුරුහරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මෙතන ගවේෂණය සඳහා පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා ඒ රිසර්ව් එකට බලපත්‍රයක් දෙනවා එක්ස්ප්ලෝර් කරලා දෙන්න කියලා. ඒ වගේ ම ඒ කැණීම් කරලා අමුද්‍රව්‍යයක් විදිහට පිටරට යැවීමේ හැකියාවත් තිබුණා. ඔය විදිහට බලපත්‍ර 470 ගාණක් අරගෙන තිබුණා," ඔහු පැවසුවේ ය.
මේ සඳහා තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් නොපැවති බව ඔහු ප්‍රකාශ කළේ ය.
එමෙන් ම පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙවැනි කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී ටෙන්ඩර් ක්‍රමයක් අනුව ලබා දිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ද පවතින බව ය.
"මේවා ඔක්කොම දීලා තියෙන්නේ අන්සොලිසිටඩ් ප්‍රපෝසල්ස් විදිහට... බුත්තල යපස් නිධිය සම්බන්ධ නඩු තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ම කිව්වා මේවා මයිනින් කරන්න දෙනකොට ටෙන්ඩර් (tender) කෝල් කරන්න ඕන කියලා. දැන් මේ ටෙන්ඩර් කෝල් කරන්නේ නැතුව, එක්ස්ප්ලොරේෂන් ලයිසන් එක දීපු එක්කෙනාට ම මයිනින් කරන්න ඉඩ දෙන එක තමයි දැන් මේගොල්ලෝ කරන්නේ... ඒක වැරදි යි. අනිත් අයටත් ඉල්ලන්න චාන්ස් එක තියෙන්න ඕන," හේමන්ත විතානගේ පැවසුවේ ය.
කෙසේ වෙතත්, මේ වන විට මෙම ක්‍රියාවලිය අත්හිටුවීමට වර්තමාන රජය කටයුතු කර තිබේ. ඒ අනුව, සියලු ම ගවේෂණ බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් නැවතත් අගැයීම් ක්‍රියාවලියක් සිදු කරන ලදී. එය 2026 අගෝස්තු 21 අවසන් වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
මෙහිදී අගැයීම් කටයුතු සිදු කරන්නේ කෙසේ ද? යන්න සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙති මෙලෙස පැහැදිලි කළේ ය.
"ඒගොල්ලන්ව ගෙන්නලා අපි දැන් අපේ එක්ස්පර්ට් පැනල් දෙකක් ඉන්නවා. එක්ස්පර්ට් පැනල් එක දැන් ඒගොල්ලෝ ඉන්ටර්වීව් කරනවා... ඒ රිපෝට් එක අනුව බලනවා කවුද කොලිෆයිඩ් කරන්න පුළුවන් කියලා අපේ අලුත් මිනරල් පොලිසි එකට අනුව. ඒගොල්ලෝ ලයිසන් එකක් ගත්තට පස්සේ මිනරල් ගන්නවා නම් හැම එකක් ම ඒගොල්ලෝ නැවත ෆිලින් කරන්න ඕන, රීහැබිලිටේෂන් කරන්න ඕන. ඒක කරන්නේ නැත්නම් එහෙම අපේ අලුත් පොලිසි එක යටතේ ඕනෑ ම වෙලාවක ලයිසන් එක හෝල්ඩ් කරන්න පුළුවන්."
එමෙන් ම, මේ බලපත්‍ර ක්‍රියාවලිය තවදුරටත් පැහැදිලි කරමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා පැවසුවේ, මීට පෙර පැවති ක්‍රමවේදය අනුව, සමාගමක් වෙරළේ ඛනිජ වැලි කැණීම සඳහා බලාපොරොත්තු වන්නේ නම්, පළමුව ගවේෂණ කටයුතු සිදු කිරීම සඳහා වසර 5ක කාලයකට ගවේෂණ බලපත්‍රයක් ලබා ගත යුතු බව ය.
පසුව මේ සඳහා අවශ්‍ය පාරිසරික බලපෑම තක්සේරු කිරීම සඳහා වසර දෙකක කාලයක් හිමිවන බව ඔහු පැවසුවේ ය.
ඉන්පසුව තවදුරටත් පාරිසරික බලපෑම සම්බන්ධයෙන් සිදුවන අධ්‍යනයන් අවසානයේ කැණීම් බලපත්‍රය හිමි වෙයි.
කෙසේ වුවත් ලංකා මිනරල් සෑන්ඩ්ස් හැරෙන්නට මේ දක්වා කිසිදු පෞද්ගලික සමාගමකට මුහුදු වෙරළේ ඛනිජ වැලි කැණීම් සඳහා හැකියාවක් ලැබී නැත.
ලංකා ඛනිජ වැලි සංගමය පැවසුවේ, මේ බලපත්‍ර කාලය ප්‍රමාණවත් නොවන බව ය. ඔවුන් පෙන්වා දෙන්නේ, ගවේෂණය කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බැවින්, ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බව ය.
එමෙන් ම, වාර්තා සැකසීමේදී, ඉඩම් අයිතිය ලබා ගැනීමේදී සහ වාර්තා අනුමත කිරීමට රජයේ ආයතන ලබා ගන්නා කාලය පිළිබඳව සලකා බැලීමේදී මේ වසර දෙකක කාලය ප්‍රමාණවත් නොවන බව ඛනිජ වැලි කැණීමට බලාපොරොත්තු වන සමාගම් නගන තවත් මැසිවිල්ලකි.
ඛනිජ වැලි කැණීම්
සාමාන්‍යයෙන් ඛනිජ වැලි කැණීම් සිදු කරන ආකාරය සම්බන්ධයෙන් මහාචාර්ය කිත්සිරි දිසානායක පැහැදිලි කළේ ය.
බර ඛනිජ වැලි කර්මාන්තයක් ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන පියවර කිහිපයක් යටතේ ය.
මෙහි පළමු පියවර කැණීම ය. පාරිසරික බලපෑම ආරම්භ වන්නේ මෙතැනිනි. මෙහිදී ඉල්මනයිට් පමණක් නොව සමස්ත වැලි පරිමාව ම වෙරළෙන් ඉවත් කරනු ලබ යි.
ඉන්පසුව විවිධ තාක්ෂණික ක්‍රමවේද හරහා මේ වැලිවලින් ඛනිජ වැලි වෙන් කර ගැනීම සිදු කරයි.
ඛනිජ ඉවත් කළ පසු ඉතිරි වන වැලි නැවත කැණීම සිදු කළ ප්‍රදේශයට දැමිය යුතු යි. නමුත් වටිනා ඛනිජ ඉවත් කළ පසු ආපසු ලැබෙන වැලි පරිමාව සැමවිටම කැණීමේදී ලබාගත් පරිමාවට වඩා අඩු වේ.
වැදගත් ම දෙයක් වන්නේ, මේ කැණීමේදී පරිසරයට යම් හානියක් සිදුවන බව සෑම පාර්ශවයක් ම පිළිගන්නා කරුණක් වීම ය. නමුත් එම හානිය අවම කර ගැනීමට ඔවුන් කටයුතු කරන බව කැණීම් කිරීමට බලාපොරත්තු වන සමාගම් පවසති.
කතිරවෙලි ප්‍රදේශයේ කැණීම් සිදු කිරීමේ බලාපොරොත්තුවෙන් එහි ගවේෂණ කටයුතු සිදු කළ ඇල්කෙමිස්ට් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ විධායක සභාවේ සාමාජිකයෙකු වන ඉංජිනේරු නන්දසේන ඒකනායක අප සමග පැවසුවේ, මෙම කැණීම් ඔවුන් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ සම්පූර්ණයෙන් ම මිනිස් ශ්‍රමය යොදාගනිමින් බව යි. වෙරළට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ඔවුන් යන්ත්‍ර සූත්‍ර භාවිතයකින් තොරව මිනිස් ශ්‍රමය පමණක් යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේ ය.
ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමය පැවසුවේ, ඔවුන් මේ සඳහා යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ය.
එයින් වෙරළේ සිදුවන මානව ක්‍රියාකාරකම් අවම කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව ඔවුහු පැවසූහ.
කෙසේ වෙතත්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා පැවසුවේ, දැනට පවතින නීතිමය රාමුව අනුව වෙරළේ කැණීම් සිදු කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීමට අවසරයක් නොමැති බව ය.
මේ දෙපාර්ශවය ම පැවසුවේ, වෙරළේ කොටස් වශයෙන් තීරු ආකාරයට කැණීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ය.
එක් කොටසක තීරුවක් කැණීම් සිදු කිරීමෙන් පසුව එම කොටසේ නැවත වැලි පිරවීමෙන් පසුව ඊළඟ තීරුවේ කැණීම් සිදු කිරීමට යෝජිත ය.
එමෙන් ම, ඉංජිනේරු නන්දසේන ඒකනායක පැවසුවේ, මුහුදු වෙරළේ සිට දුරින් ම පිහිටි කොටස්වල ගැඹුර වැඩි වන ආකාරයටත් වෙරළට ළං වන විට ගැඹුර ක්‍රමයෙන් අඩු වන ආකාරයටත් කැණීම් සිදු කරන බව ය.
"බීච් එක හරියේදී ඒ ගැඹුර අඩු වෙනවා අන්තිම මීටර් 5දී මීටර් 1ක් දක්වා. රිපෝට් එකේ තියෙන්නේ ඕක තමයි ක්‍රමවේදය. ඊට පස්සේ මුහුදේ රළ ඉහළ පහළ යන ඒරියා එක තියෙනව නේ. ඒකෙන් ගන්න පුළුවන් 0.3ක් ගැඹුරට. නිකන් උදැල්ලකින් හූරලා ගන්නේ. අන්න ඒ විදිහට."
පරිසරයට සිදුවිය හැකි බලපෑම් මොනවා ද?
භූ විද්‍යා සහ පතල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය කිත්සිරි දිසානායකට අනුව, වෙරළේ ඛනිජ වැලි කැණීම නිසා ප්‍රධාන පාරිසරික බලපෑම් කීපයක් ඇති විය හැකි ය.
වටිනා ඛනිජ ස්ථිරව ම ඉවත් කිරීම නිසා ඇති වන වැලි පරිමාවේ හිඟය (Volume Deficit) හේතුවෙන් වෙරළ පහත් වී, වාරකන් රළ හමුවේ වෙරළ පසුබැසීම බෙහෙවින් වේගවත් විය හැකි බව ඔහු පෙන්වා දෙන කරුණකි.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ අග්නිදිග විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයකින්, ඛනිජ වැලි ලබා ගැනීමේ අනුපාතය වෙරළ නැවත පුනරුත්ථාපනය කිරීමේ අනුපාතයට වඩා වැඩි බව නිරීක්ෂණය කර ඇතැයි මහාචාර්ය කිත්සිරි දිසානායක පෙන්වා දෙයි.
එනම්, කැණීම් හේතුවෙන් සිදුවන වැලි පරිමාවේ හිඟය සාපේක්ෂව සුළු ප්‍රතිශතයක් වුවත්, දැනටමත් වෙරළ ඛාදනය වී ඇති ප්‍රදේශවල ඉන් වෙරළ ඛාදනය වේගවත් විය හැකි බව ය.
කතිරවේලි ගම්මානය පිහිටා ඇත්තේ, මුහුද සහ කලපුව අතර පිහිටි පටු තීරයක් ආකාරයට ය. එනම් කිලෝමීටරයකට ආසන්න පළලකින් යුතු පටු තීරයක් ලෙස ය. මේ නිසා ඒ වෙරළේ ඛනිජ වැලි කැණීම සිය ගම්මානය විනාශ මුඛයට ඇදදැමීමක් විය හැකි බවට ගම්වාසීහු සැක පළ කරති.
කතිරවෙලි ප්‍රදේශයේ ඛනිජ වැලි කැණීමට විරෝධය පළ කරන පිරිසෙන් එක් අයෙකු වන සහ පරිසරවේදියෙකු වන තීපන් ඒ සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේ ය. "කතිරවෙලි, පුච්චාකේනි වගේ ගම් පිහිටලා තියෙන්නේ මුහුද යි කලපුව යි අතර මැද. එතකොට මුහුදයි කලපුව යි අතර දුර සමහර තැන්වල මීටර් 500යි, මීටර් 800යි. ඒ වගේ දුරක තමයි තියෙන්නේ... ඉල්මනයිට් හාරන්න ගියොත් මේ මිනිස්සුන්ට වෙන්නේ ළිං වතුර ලුණු වතුර වෙන එක. මුහුද තව තව ළඟට එන එක. එතකොට මේ මිනිස්සුන්ට ඒගොල්ලොන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න බැරි වෙනවා," ඔහු පැවසුවේ ය.
එමෙන් ම, භූගත ජල මට්ටමට වඩා පහළින් කැණීම් සිදු කළහොත් සහ කැණීම් සිදු කරන කොටස් වියළිව තබා ගැනීමට ජලය ඉවත් කිරීම අඛණ්ඩව සිදු කිරීමේදී භූගත ජලයේ පීඩනය වෙනස් වී ගොඩබිමේ ඇති ජල මූලාශ්‍ර වෙත කරදිය ඇතුළු වීමේ අවදානමක් පවතින බව මහාචාර්ය කිත්සිරි දිසානායක පෙන්වා දෙන තවත් කරුණකි.
තවදුරටත් ඒ පිළිබඳව පැහැදිලි කරමින් මහාචාර්ය කිත්සිරි දිසානායක පෙන්වා දෙන්නේ, කැණීම් සිදු කිරීමේදී මුහුදු ජලය බොර වීම හරහා සුර්යාලෝකය මුහුදු ජලය තුළට යාම වෙනස් වීම ආශ්රිත කලාපයේ ජෛව විවිධත්වයට බලපෑමක් එල්ල වීමට ද ඉඩ ඇති බව යි.
එහි ප්රතිවිපාකය විය හැක්කේ, ධීවරයන්ට මත්ස්‍ය අස්වැන්න හිඟ වීම ය. නමුත් මෙය ක්ෂණිකව ඇති වන්නක් නොව ක්‍රම ක්‍රමයෙන් සිදු වන ක්‍රියාවලියක් බව මහාචාර්යවරයා පැවසුවේ ය.
කෙසේ වෙතත්, මේ වන විටත් මෙම ප්‍රදේශවල ජනතාව මෙන් ම ඇතැම් පරිසර ක්‍රියාකාරී සංවිධාන ඛනිජ වැලි කැණීමට විරෝධය දක්වමින් සිටිති.
පරිසර යුක්ති කේන්ද්‍රයේ හේමන්ත විතානගේ පවසන්නේ, ඔවුන් ද ඛනිජ වැලි ලබා ගැනීම සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප නොකරන බව යි.
"ලංකාවේ මයිනින් කරන්න එපා කියන එක නෙවෙයි පරිසර යුක්ති කේන්ද්‍රය විදිහට අපේ අදහස. අපි හිතනවා ලංකාවේ මයිනින් කරන්න පුළුවන් තැන්වල කරන්න ඕනේ, අදායමක් ගන්න ඕනේ, ඒ ආදායමට වැලියු ඇඩ් කරන්න ඕනේ," ඔහු පවසයි.
"ඉතින් අපි කියන්නේ ඔය කියන ඔක්කොම ඇස්පෙක්ට්ස්, ඒ වගේ ම ක්ලයිමට් චේන්ජ් එකේ ඉම්පැක්ට් එක, වෙරළ ඛාදනය, මේවා බලන්න ඕනේ. එතකොට සෙන්සිටිව් ඒරියාස්වල, ප්‍රොටෙක්ටඩ් ඒරියාස්වල මේ එක්ස්ප්ලොරේෂන් දීලා තියෙනවා, මේ ඔක්කොම අපි අයින් කරන්න ඕනේ. අපි අයින් කරන ක්‍රමවේදය තම යි Strategic Environmental Assessment (SEA) එක. එහෙම කරලා ඊට පස්සේ සුදුසු ප්‍රමාණයට විතරක් කම්පැනි දෙක තුනකට දෙන එකේ අවුලක් නැහැ. අවුලක් නැහැ කියන්නේ අවුල් තියෙයි, නමුත් ඒවා මිනිමයිස් කර ගන්න සිද්ධ වෙනවා," ඔහු පැහැදිලි කළේ ය.
නව ඛනිජ ප්‍රතිපත්තිය සහ පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම
2026 වසරේ එළිදැක්වූ නව ඛනිජ ප්‍රතිපත්තියට අනුව සමාගම්වලට අවශ්‍ය භූමි කොටස්වල කැණීම් සිදු කිරීමට අවස්ථාව නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා පැවසුවේ ය.
පළමුව කාර්යාංශය විසින් ගවේෂණ කටයුතු සිදු කර කාර්යාංශය විසින් අදාළ සමාගම් වෙත ලබා දෙනු ලබන භූමි කොටසේ පමණක් සමාගම්වලට කැණීම් කටයුතු සිදු කිරීමට ඉඩ ලබා දෙන බවටත්, ඒ කැණීම් නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමට ලක් කරන බවටත් සභාපතිවරයා පැවසුවේ ය.
"කලින් වතාවේ කරපු විදිහට කවුරුහරි කෙනෙක් ඉල්ලුම් කළොත් බලපත්‍රය සඳහා අවශ්‍ය නිර්දේශ ඉල්ලුම්කරු කරන්න ඕනේ. නමුත් මේ වතාවේ ඒක්ස්ප්ලොරේෂන් දෙන්නේ නැහැ කාටවත්. ඒක කරන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය විසින්... එතකොට ඒ කාර්යාංශය විසින් කරන ගවේෂණයෙන් යම්කිසි පොටෙන්ෂල් එකක්, මිනරල් පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා හඳුනාගත්තොත්, අපි ඒ සියලු ම නිර්දේශ, නිෂ්කාෂණ ටික අරගෙන ආයතනවලින්, ඊට පස්සේ තමයි මේ ටෙන්ඩර් පටිපාටියට යන්නේ," ඔහු පැහැදිලි කළේ ය.
මේ නිසා දැනටමත් වෙරළ ඛාදනයට ලක්ව තිබෙන ප්‍රදේශවල කැණීම් සිදු කිරීමට අවසර ලබා දීම තුළින් එම ප්‍රදේශ තවදුරටත් එම තත්ත්වයේ අන්තයට යා නොහැකි දැයි අපි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාගෙන් විමසුවෙමු.
"වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි සීමාවල් දාලා තියෙන්නේ, මීටර් 100 ද යන්නේ, මීටර් 200 ද යන්නේ කියලා. දැන් අපි ලයිසන් එක ඉෂූ කරනකොට, EIA (Environmental Impact Assessment) කරනවා නේ. ඒ කියන්නේ එන්වයර්න්මන්ටල් ඉම්පැක්ට් ඇසෙස්මන්ට් (Environmental Impact Assessment) ක්‍රියාවලිය. එතකොට ඒකෙදි ඔය ඔක්කොම ටික හොයා බලනවා. ඊට පස්සේ තමයි ලයිසන් එක නිකුත් වෙන්නේ. පරිසරයට බලපෑමක් වෙනවා නම්, එහෙම නැත්නම් මහ ජනතාවට පීඩාවක් වෙනවා නම්, ඒ වගේ ම ජල සම්පත්වලට බාධාවක් වෙනවා නම්, ජන ජීවිතයට එහෙම නැත්නම් වගාවට හානියක් වෙනවා නම්, ඔය වගේ සියලු ම ඇස්පෙක්ට්ස් බලලා තමයි ඒක නිකුත් කරන්නේ. ඒක ඇඩ්රස් වෙනවා එතන," ඔහු පවසයි.
මීට අමතරව ඔහු තවත් වැදගත් කරුණක් ඉස්මතු කළේ ය. ඒ, මෙම නව ප්‍රතිපත්තිය හරහා කැණීම් බලපත්‍ර ලබා ගන්නා සමාගම්වලට, මේ ඛනිජ වැලි අගය එකතු කිරීමකින් තොරව අපනයනය කිරීමට නොහැකි බව ය. එනම් ඔවුන් මේවා අපනයනය කරන්නේ නම් අනිවාර්යයෙන් ම අගය එකතු කළ යුතු ය.
ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා මෙලෙස පැහැදිලි කළේ ය.
"කාටහරි මේ විවෘත ක්‍රමවේදයෙන් කැණීම් සඳහා අවසරයක් දුන්නොත්, අපි ඒක දෙන්නේ රෝ මැටීරියල් එකක් විදිහට පිටරට යවන්න නෙමෙයි, වැලියු ඇඩිෂන් එකක් විදිහට. ඒක තමයි මේකේ තියෙන ටර්නිං පොයින්ට් එක. මේ මිනරල් පොලිසි එකේ අගය එකතු කිරීමකින් තමයි මේක පිටරට යවන්න අවසර දෙන්නේ. ඒ කියන්නේ වැලියු ඇඩිෂන් එකක් ඕනේ. දැන් තියෙන විදිහට ඉතින් එක එක මිනරල් ටු මිනරල් ඒ වැලියු ඇඩිෂන් එක වෙනස් වෙයි. සමහර ඒවා වැලියු ඇඩිෂන් කරන්නේ නැතුව ම යවන්න සිද්ධ වෙයි, ඒක ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා," ඔහු පැවසුවේ ය.
නමුත් ඛනිජ වැලි සමාගම් පවසන්නේ, ඒ සඳහා කාලයක් ගත වන බව ය.
ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ සභාපති මංගල යාපා ඒ සම්බන්ධයෙන් මෙලෙස බීබීසී වෙත අදහස් දැක්වූවේ ය.
"අගය එකතු කිරීම එන්න ඕනේ පියවරෙන් පියවර කර්මාන්ත දියුණු වෙන එකත් එක්ක," ඔහු පවසයි.
"එහෙම නැතුව අපි නිකන් තියරිටිකලි කතා කළොත් දැන් අපේ ගොඩක් රටේ වෙන්නේ මේ අපේ විද්වතුන් කියා කියා ගන්න කොටස විශේෂයෙන් ම විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඒ වගේ ඉන්න කට්ටිය කතා කරන දෙයක් තමයි ඇයි ඉල්මනයිට්වලින් ටයිටේනියම් හදන්න බැරි. ටයිටේනියම් කියලා කියන්නේ ඉතාමත් ම බරින් අඩු ලෝහයක්. ඒක පාවිච්චි කරනවා එයාර්ක්‍රාෆ්ට් ඒරොස්පේස් ඉන්ඩස්ට්‍රි එකේ අභ්‍යවකාශ තරණයට. ඒක හැදුවොත් කිලෝ එකකට මෙච්චර ගන්න පුළුවන්. ඉල්මනයිට් දුන්නොත් ටොන් එකකට ම මෙච්චර යි හම්බ වෙන්නේ කියලා. නමුත් ඉල්මනයිට් ටයිටේනියම් දක්වා ගමන් කරන්න බැරිකමක් නෑ පුළුවන්. නමුත් ඒක ඉතාමත් සංකීර්ණ අසීරු කාර්යක්. එකපාර ම එතන්ට යන්න බැහැ," ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ සභාපතිවරයා පැහැදිලි කළේ ය.
එමෙන් ම ඔහු පැවසුවේ, අගය එකතු කිරීම සඳහා අභියෝගයන් වන ගැටලු කිහිපයක් ම පවතින බව ය.
"විදුලි බලය පිළිබඳ ලොකු ගැටලු ගොඩක් තියෙනවා. ස්ටේබල් පවර් සප්ලයි එකක් නෑ. විශේෂයෙන් ම අපේ තියෙන්නේ උතුරේ, නැගෙනහිර, වයඹ වගේ පළාත්වල විදුලි බලය අවශ්‍ය ප්‍රමාණයට සහ ස්ථාවරව ලැබෙන්නේ නෑ."
"මෙහෙම ප්‍රොසෙස් කරද්දී විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය අවශ්‍ය යි.ඒවගෙන් අපද්‍රව්‍ය එනවා. ඒවා බැහැර කරන්න පහසුකම් තියෙන්න ඕනේ. නැත්නම් ඒ අපද්‍රව්‍ය නැව්ගත කරන්න වෙනවා වෙන රටකට. බාසල් සම්මුතිය (Basel Convention) අනුව එක් රටක අපද්‍රව්‍ය වෙනත් රටකට යවන්න බැහැ. ඒ නිසා අපේ රට ඒ සඳහා පහසුකම් අවශ්‍ය වෙනවා," ඔහු පවසයි.
නැගෙනහිර පළාතේ මේ ඛනිජ වැලි කැණීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේදී අපට විවිධ පාර්ශව සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව හිමි විය.
මේ ප්‍රදේශවල ජීවත්වන ජනතාව, කැණීම් සිදු කිරීමට බලාපොරොත්තු වන සමාගම්, පරිසර ක්රියාකාරිකයන්, මේ සම්බන්ධ විශේෂඥයන් සමග මෙන් ම වගකිවයුතු රජයේ ආයතන සහ විෂය භාර අමාත්‍යවරයා යන මේ සෑම පාර්ශවයක් සමග ම සාකච්ඡා කිරීමේදී පැහැදිලි වූ කරුණක් තිබේ.
එනම්, රටේ පවතින ආර්ථික ගැටලුවට විකල්පයක් ලෙස එය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අපනයන වැඩි කර ගනිමින් ආදායම් ඉහළ නංවා ගත හැකි ස්වභාවික සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමේ උවමනාවකින් වත්මන් රජය පසුවන බව ය.
නමුත් ඒ ආර්ථික වාසිය ලබා ගැනීමට නම්; නැවත හැරවිය නොහැකි දැවැන්ත පාරිසරික හානියක් සිදු නොකර; සාමාන්‍ය එදිනෙදා ජීවිතය, මිනිස් වාසස්ථාන, ජීවනෝපායන් සම්බන්ධ ගැටලු මග හරවා ගැනීමට අවශ්‍ය නිවැරදි තක්සේරුවක් සහ, ඒ සඳහා වන මානුෂීය, තාක්ෂණික සහ කාලානුරුපී ප්‍රායෝගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ වගකීම, වගකිව යුතු පාර්ශව හමුවේ ඉතිරි වී ඇති බව විශේෂඥයින්ගේ අදහස වී තිබේ.