බෙන්ජමින් නෙතන්යාහු: ඊශ්‍රායලයේ 'මිස්ටර් සිකියුරිටිට' හත්වැනි වරටත් අගමැති ධූරය රැකගත හැකි ද?

A composite image shows three faces of Netanyahu

එක් කරන ලද රූපයක නෙතන්යාහුගේ මුහුණු තුනක් දැක්වේ.
    • Author, රැෆි බර්ග්
    • Role, මැද පෙරදිග ඩිජිටල් සංස්කාරක
    • Author, ලූසි විලියම්සන්
    • Role, මැද පෙරදිග වාර්තාකරු
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 11

ඊශ්‍රායලයේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට (ඔක්තෝබර් 27 වන දින) පැවැත්වීමට නියමිත අතර, එහිදී එරට වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ බෙන්ජමින් නෙතන්යාහු සිය හත්වන ධුර කාලය තහවුරු කර ගැනීමට අපේක්ෂා කරයි.

77 හැවිරිදි නෙතන්යාහු, දශක ගණනාවක් තිස්සේ ඊශ්‍රායලයේ Mr Security ලෙස තමන්වම හඳුන්වා දී ඇත.

නමුත්, තවත් ධූර කාලයක් සඳහා වන ඔහුගේ මෙම උත්සාහය පැමිණෙන්නේ, ඊශ්‍රායල ඉතිහාසයේ විශාලතම ආරක්ෂක අසාර්ථකත්වය ලෙස එරට වැසියන් බොහෝ දෙනෙකු සලකන, 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරවලින් පසුවය.

එතැන් පටන් ඔහු හමාස් සංවිධානයට මෙන්ම එහි මිත්‍ර පාර්ශවයන් වන හිස්බුල්ලා සංවිධානයට සහ ඉරානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු කළේය. ඒ අතරම, තමන් ප්‍රතික්ෂේප කරනු ලබන, දූෂණ චෝදනා සම්බන්ධයෙන් දැනට පවතින අපරාධ නඩුවකට ද ඔහු මුහුණ දෙමින් සිටියි.

මහජන මත විමසුම්වලට අනුව, නෙතන්යාහුගේ දක්ෂිණාංශික සන්ධානය සහ ඔහුව බලයෙන් පහ කිරීම සඳහා එක්ව කටයුතු කරන විපක්ෂ දේශපාලන පක්ෂ සන්ධානය අතර කරට කර තරගයක් පවතින බව පෙනී යයි. හිටපු අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් සහ හිටපු හමුදා ප්‍රධානී ගාඩි අයිසෙන්කොට් ද එම විපක්ෂ සන්ධානයට ඇතුළත් වෙති.

ඔක්තෝබර් 7 වන දින සිදු වූ සිදුවීම්වල බලපෑම, බොහෝ ඡන්දදායකයින්ගේ තීරණ කෙරෙහි ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දේශපාලනයේ දිගුකාලීන රැඳී සිටින නායකයා

Israeli Prime Minister Benjamin Netanyahu, wearing a blue tie with a dark suit, holds a microphone in front of a massive Israeli flag

තද පැහැති ඇඳුමක් සහ නිල් පැහැති ටයි පටියක් පැළඳ සිටින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, දැවැන්ත ඊශ්‍රායල ධජයක් ඉදිරියේ මයික්‍රොෆෝනයක් අල්ලාගෙන සිටී.

තම බලය රඳවා ගැනීමේ හැකියාවට තර්ජනයක් වූ මතභේද සහ දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද, නෙතන්යාහු දේශපාලන ක්ෂේත්‍රය තුළ කෙසේ හෝ දිගටම රැඳී සිටීමට සමත් අයෙකු ලෙස කීර්තියක් දිනාගෙන සිටියි.

2022 නොවැම්බරයේදී අගමැතිවරයා ලෙස සිය හයවන ධූර කාලය සඳහා නැවත තේරී පත් වූ ඔහු, ඊශ්‍රායල ඉතිහාසයේ වඩාත්ම දක්ෂිණාංශික සන්ධානයට නායකත්වය දෙයි.

අඛණ්ඩව වසර 12ක් අගමැති ධූරය දැරීමෙන් අනතුරුව, විපක්ෂයේ කෙටි කාලයක් ගත කර ඔහු නැවත බලයට පත්විය. මෙම නැවත පැමිණීම, "කිං බිබී" දේශපාලනිකව පරාජය කළ නොහැකි අයෙකු බවට ඔහුගේ ආධාරකරුවන් තුළ තිබූ විශ්වාසය තවදුරටත් තහවුරු කළේය.

ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔහු ප්‍රබල නායකයෙකු ලෙස දකින, දක්ෂිණාංශික සහ ආගමික නැඹුරුවක් ඇති බොහෝ ඡන්දදායකයින් අතර ඔහු තවමත් ජනප්‍රියව සිටියි. එසේම, පූර්ණ කාලීනව ආගමික අධ්‍යාපනයේ නිරත වන අධි-ඕතඩොක්ස් යුදෙව්වන් (ultra-Orthodox) සඳහා අනිවාර්ය හමුදා සේවයෙන් නිදහස් වීමේ අවස්ථාව තවදුරටත් දීර්ඝ කිරීමට ඔහුගේ රජය පියවර ගෙන ඇත.

නමුත්, ඔක්තෝබර් 7 වන දින ප්‍රහාරයන්හි කළු සෙවණැල්ල මෙම මැතිවරණය කෙරෙහි දරුණු ලෙස බලපාමින් පවතින බැවින්, ඔහුගේ පරාජය කළ නොහැකි යැයි පෙනෙන ස්වභාවය දැන් අවදානමට ලක්ව තිබේ.

දහස් සංඛ්‍යාත හමාස් සන්නද්ධකරුවන් ගාසා තීරයේ සිට දේශසීමා බිඳගෙන පැමිණ, පුද්ගලයන් 1,200කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කර තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන යමින්, ඔහුගේ පාලන කාලය යටතේ ඊශ්‍රායලය සිය ඉතිහාසයේ විඳි විනාශකාරීම ප්‍රහාරයට මුහුණ දුන් 2023 ඔක්තෝබර් 7 වන දින සිදු වූ සිදුවීම වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නෙතන්යාහු යම් වගකීමක් පිළිගෙන ඇත.

නමුත් මෙම ප්‍රහාරයන්ට හේතු වූ අසාර්ථකත්වයන් සඳහා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් ඇතුළු තවත් බොහෝ දෙනෙකු වගකිව යුතු බව ඔහු පවසයි. තමන් ඊශ්‍රායල හමුදාව විශාල වශයෙන් යෙදවීමට නියෝග කර තත්ත්වය තේරුම්ගත නොහැකි ලෙස උග්‍ර කරනු ඇතැයි බියෙන්, ප්‍රහාරයට පෙර පැය කිහිපය තුළ එම නිලධාරීන් සිතාමතාම තමන්ව අවදි නොකිරීමට තීරණය කළ බවට ද ඔහු චෝදනා කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශ්වාසදායක ලෙස සලකනු ලබන, ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව, ඊශ්‍රායලය ගාසා තීරයේ දියත් කළ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 74,000ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇත. ගාසා තීරය තුළ ඊශ්‍රායලයේ මෙම ක්‍රියාකලාපය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.

ප්‍රහාරයෙන් පසු ගත වූ වසර කිහිපය තුළ, නෙදන්යාහුගේම ආරක්ෂක ප්‍රධානියා මෙන්ම කලාපීය අසල්වැසි රටවල් ද ඔහු වෙත අනතුරු ඇඟවීම් ලබා දී තිබූ බවට වාර්තා පළ වෙමින් පවතින නමුත්, ඔහු ඒවා ප්‍රතික්ෂේප කරයි.

හමාස් සංවිධානය මහා පරිමාණ මෙහෙයුමක් සැලසුම් කරමින් සිටින බවට අනතුරු ඇඟවීම සඳහා, ප්‍රහාරයට දින 10කට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා නෙතන්යාහු වෙත දුරකථන ඇමතුමක් ලබා දුන් බවට චෝදනා කරමින්, ඊශ්‍රායලයේ 'හාරෙට්ස්' (Haaretz) පුවත්පත පසුගිය මසකදී අලුත් පොතක උපුටා ගැනීම් ප්‍රකාශයට පත් කළේය.

නෙතන්යාහුගේ කාර්යාලය එම වාර්තාව "සම්පූර්ණ අසත්‍යයක්" ලෙස හඳුන්වා දී ඇති අතර පුවත්පතට එරෙහිව නඩු පවරන බව පවසා ඇත.

රුසියාවේ ව්ලැදීමීර් පුටින්, සුඩානයේ ඕමාර් අල්-බෂීර් සහ ලිබියාවේ මුඅම්මර් ගඩාෆි යන අය සමගින්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් 2024 නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරන ලද සිව්වන ලෝක නායකයා බවට නෙතන්යාහු පත්විය.

මෙය සහ ඊශ්‍රායලයේ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගලාන්ට් සම්බන්ධ වරෙන්තුව, ඊශ්‍රායලයේ දේශපාලන ක්ෂේත්‍රය පුරා දැඩි කෝපාවිෂ්ට ප්‍රතිචාරයක් ඇති කිරීමට හේතු විය.

එම වරෙන්තු සම්බන්ධ වන්නේ ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරවලින් පසුව ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාකාරකම්වලටය. "යුද්ධ ක්‍රමයක් ලෙස සාගින්න භාවිත කිරීම, ඝාතනය, හිංසනය සහ වෙනත් අමානුෂික ක්‍රියා ලෙස සැලකෙන මානුෂිකත්වයට එරෙහි අපරාධ" ඊට අදාළ චෝදනා අතර වේ.

දෙදෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කරති.

සහෝදරයාගේ උරුමය

A black-and-white photograph shows a young Benjamin Netanyahu in military uniform holding a rifle alongside another soldier in 1971.

1971 වසරේදී තරුණ බෙන්ජමින් නෙතන්යාහු යුද ඇඳුමින් සැරසී තවත් සෙබළෙකු සමග රයිෆලයක් අතින් ගෙන සිටින කළු-සුදු ඡායාරූපයක්.
ඡායාරූප ශීර්ෂ වැකිය, නෙදන්යාහු (දකුණේ) ඊශ්‍රායල් හමුදාවේ ප්‍රභූ 'සයිරෙට් මැට්කල්' කොමාන්ඩෝ බලකායේ කපිතාන්වරයෙකු ලෙස සේවය කළේය

බෙන්ජමින් නෙතන්යාහු 1949 වසරේදී ටෙල් අවිව් නුවරදී උපත ලැබීය. ප්‍රමුඛ පෙළේ ඉතිහාසඥයෙකු සහ සියොන්වාදී ක්‍රියාකාරිකයෙකු වූ ඔහුගේ පියා වන බෙන්සියොන් වෙත අධ්‍යයන තනතුරක් පිරිනැමීමත් සමඟ, 1963 වසරේදී ඔහුගේ පවුල ඇමෙරිකා එක්සත් ජනපදය බලා සංක්‍රමණය විය.

ඔහු වයස අවුරුදු 18 දී නැවත ඊශ්‍රායලයට පැමිණි අතර, එහිදී 'සයිරෙට් මැට්කල්' ප්‍රභූ කොමාන්ඩෝ බලකායේ කපිතාන්වරයෙකු ලෙස සේවය කරමින් හමුදාව තුළ කැපී පෙනෙන වසර පහක් ගත කළේය. 1972 වසරේදී පලස්තීන සන්නද්ධකරුවන් විසින් පැහැරගෙන ඊශ්‍රායලයට ගොඩබස්වන ලද බෙල්ජියම් මගී ගුවන් යානයක් මුදාගැනීමේ මෙහෙයුමකදී ඔහු තුවාල ලැබූ අතර, 1973 මැදපෙරදිග යුද්ධයට ද දායක විය.

1976 වසරේදී උගන්ඩාවේ එන්ටබේ නුවරදී, පැහැරගන්නා ලද මගී ගුවන් යානයක සිටි ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට නායකත්වය දෙමින් සිටියදී නෙතන්යාහුගේ සහෝදරයා වූ ජොනතන් ජීවිතක්ෂයට පත් විය. ඔහුගේ අභාවය නෙතන්යාහු පවුලට දැඩි බලපෑමක් එල්ල කළ අතර, ඔහුගේ නාමය ඊශ්‍රායලය පුරා අතිශය කීර්තිමත් එකක් බවට පත් විය.

නෙතන්යාහු තම සහෝදරයා සිහිවීම පිණිස ත්‍රස්තවාදයට එරෙහි ආයතනයක් පිහිටුවූ අතර, 1982 දී වොෂින්ටනයේ පිහිටි ඊශ්‍රායල දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානියා බවට පත් විය.

එක් රැයකින් නෙදන්යාහුගේ ප්‍රසිද්ධ දේශපාලන ජීවිතය ආරම්භ විය. කැපී පෙනෙන ඇමෙරිකානු උච්චාරණ විලාසයක් සහිත, චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවන අයෙකු වූ ඔහු, ඇමෙරිකානු රූපවාහිනී නාලිකාවල නිරන්තරයෙන් දැකිය හැකි මුහුණක් මෙන්ම ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල ප්‍රකාශකයෙකු බවට ද පත් විය.

1984 වසරේදී ඔහු නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල නිත්‍ය නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.

බලයට පත්වීම

Benjamin Netanyahu, dressed in a grey suit and red tie, speaks at the United Nations during his tenure as Israel's ambassador to the UN (1984-1988). Beside him sits a man in a black suit, striped shirt and patterned tie, his face hidden by a folder held by Netanyahu.

අළු පැහැති ඇඳුමක් සහ රතු ටයි පටියක් පැළඳ සිටින බෙන්ජමින් නෙතන්යාහු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ (1984-1988) එහිදී කතා කරයි. ඔහු අසල කළු ඇඳුමක්, ඉරි සහිත කමිසයක් සහ මෝස්තර සහිත ටයි පටියක් පැළඳ සිටින පුද්ගලයකු වාඩි වී සිටින අතර නෙතන්යාහු අතින් ගෙන සිටින ලේඛන ගොනුවකින් ඔහුගේ මුහුණ වැසී ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය, නෙතන්යාහු 1984 සිට 1988 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපතිවරයා ලෙස සේවය කළේය

1988 වසරේදී ඊශ්‍රායලයට ආපසු පැමිණි නෙතන්යාහු දේශපාලනයට පිවිසි අතර, එහිදී ඔහු 'ලිකුඩ්' පක්ෂය නියෝජනය කරමින් ක්නෙසෙට්හි මන්ත්‍රී ධුරයක් දිනා ගත් අතර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් විය.

පසුව ඔහු පක්ෂ සභාපතිවරයා වූ අතර, 1996දී යිට්ෂාක් රබින් ඝාතනයෙන් පසු පැවැති හදිසි මැතිවරණයකින් ඊශ්‍රායල අගමැති ධූරයට පත් විය.

නෙතන්යාහු ඊශ්‍රායලයේ ලාබාලම නායකයා මෙන්ම 1948 වසරේදී එරට රාජ්‍යය පිහිටුවීමෙන් පසුව උපත ලැබූ පළමු නායකයා ද විය.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර 1993 වසරේදී ඇති කරගත් ඔස්ලෝ සාම ගිවිසුම දැඩි ලෙස විවේචනය කර තිබුණ ද, නෙතන්යාහු 1997 වසරේදී හෙබ්‍රොන් ප්‍රදේශයෙන් 80%ක පාලනය පලස්තීන අධිකාරිය වෙත පැවරීමේ ගිවිසුමකට අත්සන් තැබීය. එමෙන්ම අත්පත්කර ගෙන සිටි බටහිර ඉවුරේ ප්‍රදේශවලින් තවදුරටත් ඉවත් වීමට ද ඔහු එකඟ වූ අතර, එය දක්ෂිණාංශික පාර්ශවයන්ගේ දැඩි දෝෂදර්ශනයට හේතු විය (කෙසේ වෙතත්, බොහෝ ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීමට පෙර එම සැලසුම බිඳ වැටුණි)

1999 දී ඔහු නියමිත කාලයට මාස 17කට පෙර මැතිවරණ කැඳවීමෙන් පසු බලය අහිමි වූ අතර, ඔහුගේ හිටපු හමුදා අණදෙන නිලධාරියා වූ ලේබර් පක්ෂ නායක එහුඩ් බරාක් හමුවේ පරාජයට පත් විය.

දේශපාලන පුනර්ජීවනය

Yasser Arafat, wearing a patterned black-and-white headscarf and military-style jacket, sits beside Benjamin Netanyahu, dressed in a dark suit and tie, during a meeting, as Netanyahu leans towards him while speaking.

කළු සහ සුදු මෝස්තර සහිත හිස් ආවරණයක් සහ හමුදා විලාසිතාවේ ජැකට්ටුවක් පැළඳ සිටින යාසර් අරෆාත්, තද පැහැති ඇඳුමක් සහ ටයි පටියක් පැළඳ සිටින බෙන්ජමින් නෙතන්යාහු අසල වාඩි වී සිටින අතර, නෙතන්යාහු කතා කරමින් ඔහු දෙසට නැඹුරු වී සිටී.
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු පලස්තීන නායක යසර් අරෆාත් (වමේ) සහ බෙන්ජමින් නෙතන්යාහු, 2002දී ධවල මන්දිරයේදී

නෙතන්යාහු ලිකුඩ් පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ අතර, ඒ වෙනුවට ඒරියල් ෂැරොන් පත් විය.

2001 වසරේදී ෂැරොන් අගමැතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු, නෙතන්යාහු නැවත රජයට එක් වූ අතර, මුලින් විදේශ අමාත්‍යවරයා ලෙසත් ඉන්පසු මුදල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය. 2005 වසරේදී, අත්පත් කරගෙන සිටි ගාසා තීරයෙන් ඊශ්‍රායලය ඉවත් වීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

2005 වසරේදී ඔහුට නැවතත් අවස්ථාවක් උදාවිය; එනම්, තමා කෝමා තත්ත්වයට පත්වීමට හේතු වූ දරුණු ආඝාතය ඇතිවීමට මද වේලාවකට පෙර, ෂැරොන් 'ලිකුඩ්' පක්ෂයෙන් ඉවත්ව 'කදිමා' නමින් නව මධ්‍යවාදී පක්ෂයක් පිහිටුවීමත් සමගය.

නෙතන්යාහු නැවතත් ලිකුඩ් පක්ෂ නායකත්වය දිනාගත් අතර, 2009 මාර්තු මාසයේදී දෙවන වරටත් අගමැතිවරයා ලෙස තේරී පත් විය.

ඔහු බටහිර ඉවුරේ ජනාවාස ඉදිකිරීම් මාස 10ක කාලයකට අත්හිටුවීමට (විවිධ නිදහස් කිරීම් සහිතව) පෙර නොවූ විරූ එකඟතාවක් පළ කළ අතර, එමඟින් පලස්තීනුවන් සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමට හැකි විය. කෙසේවෙතත්, 2010 අවසානය වන විට එම සාකච්ඡා බිඳ වැටුණි.

2009 වසරේදී ඔහු ඊශ්‍රායලය සමග පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම කොන්දේසි සහිතව පිළිගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණ ද, පසුව ඔහු තම ස්ථාවරය දැඩි කළේය.'පලස්තීන රාජ්‍යයක් බිහි වෙන්නේ නැහැ, මිනිස්සු ඔය කියන විදියේ එකක් නම් කොහොමත් වෙන්නේ නැහැ,' යනුවෙන් ඔහු 2019 වසරේදී ඊශ්‍රායල ගුවන් විදුලි නාලිකාවකට පවසා තිබිණි.

මෙම වසරේ මුල් භාගයේදී ඔහු ප්‍රකාශ කළේ, 'අපගේ පැවැත්ම අනතුරේ හෙළන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම දශක ගණනාවක් තිස්සේ වළක්වනු ලැබූ' පුද්ගලයා ලෙස කවුරුත් තමන්ව හඳුනන බවයි. තවද 'කුමන තත්ත්වයක් යටතේ වුවද' ගාසා තීරය සහ බටහිර ඉවුර යන දෙකම ඇතුළුව ජෝර්දාන් ගඟට බටහිරින් පිහිටි සියලුම භූමි ප්‍රදේශයන්හි පූර්ණ ආරක්ෂක පාලනය ඊශ්‍රායලය සතු කරගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහුගේ ධූර කාලය තුළ, අත්පත් කරගත් බටහිර ඉවුරේ (West Bank) ඊශ්‍රායල ජනාවාස පුළුල් වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර, විචාරකයින් පවසන පරිදි මෙය 'ද්වි රාජ්‍ය විසඳුම' සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයන් සංකීර්ණ කර තිබේ.

2022 වසරේදී බලයට පත්වීමෙන් පසු, ඔහුගේ වත්මන් රජය විසින් නව ජනාවාස 100කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා අනුමැතිය ලබා දී ඇති අතර, කඳු මුදුන්වල පිහිටි නීතිවිරෝධී මුරපොලවල් සහ ගොවිපළවල් වේගයෙන් ව්‍යාප්ත කිරීම ද අධීක්ෂණය කර ඇත.

ද්වි-රාජ්‍ය විසඳුමට සහාය දක්වන 'Peace Now' නම් ඊශ්‍රායල ජනාවාස නිරීක්ෂණ කණ්ඩායම පවසා ඇත්තේ, රජය විසින් "බටහිර ඉවුර ප්‍රායෝගිකව ඈඳා ගැනීමේ ක්‍රියාවලිය පෙර නොවූ විරූ වේගයකින් ඉදිරියට ගෙන ගොස් ඇති" බවයි.

අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ ඇති සියලුම ඊශ්‍රායල ජනාවාස සහ මුරපොලවල් ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී ය. මුරපොලවල් බොහොමයක් රාජ්‍ය සහාය ලැබුවද, ඊශ්‍රායල නීතිය යටතේ ද නීති විරෝධී ය.

2009 වසරේදී නෙතන්යාහු නැවත බලයට පත්වීමට පෙර සහ පසුව, පලස්තීන ප්‍රහාර සහ ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් ගාසා තීරය සහ ඒ අවට ප්‍රදේශවල නිරන්තරයෙන්ම ගැටුම්කාරී තත්ත්වයන් හටගත්තේය.

තම දේශපාලන ජීවිතය පුරාම, ඊශ්‍රායලයට එල්ල වන විශාලතම තර්ජනය ඉරානය බව නෙතන්යාහු නිරන්තරයෙන්ම අනතුරු ඇඟවීය. දශක තුනකට වැඩි කාලයක් තිස්සේ ඔහු තර්ක කළේ ටෙහෙරානය න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ කරන බවයි. ඉරාන රජයට එරෙහිව වඩාත් දැඩි ස්ථාවරයක් ගන්නා ලෙස ඔහු ලෝක නායකයන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියේය.

එම දීර්ඝකාලීන මෙහෙයුම එහි උච්චතම අවස්ථාවට ළඟා වූයේ 2026 පෙබරවාරි මාසයේදීය. එහිදී ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් එරට උත්තරීතර නායක අලි ඛමේනි ජීවිතක්ෂයට පත් විය. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායලයට, ඇමෙරිකානු හමුදා කඳවුරුවලට සහ ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කරන ලද අතර, හිස්බුල්ලා සංවිධානය දියත් කළ ප්‍රහාරයක් හේතුවෙන් ලෙබනනය තුළ නව යුද්ධයක් දක්වා තත්ත්වය උග්‍ර විය.

පකිස්ථානයේ මැදිහත් වීමෙන් ඇති වූ සටන් විරාමයක් අප්‍රේල් මාසයේදී ක්‍රියාත්මක වූ අතර, ඉන් අනතුරුව ජුනි මාසයේදී ඇමෙරිකා-ඉරාන අවබෝධතා ගිවිසුමකට එළඹුණ ද, එය සති කිහිපයක් ඇතුළත බිඳ වැටුණි. එතැන් පටන් ඇමෙරිකාව සහ ඉරානය එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කරගෙන ඇති අතර, දැනට කිසිදු නව ගිවිසුමක් ක්‍රියාත්මක නොවේ.

නඩු විභාගයේ ආන්දෝලන

2016 වසරෙන් පසුව, නෙතන්යාහු දූෂණ විමර්ශනයකට මුහුණ දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2019 නොවැම්බර් මාසයේදී එකිනෙකට වෙනස් සිදුවීම් තුනකට අදාළව ඔහුට එරෙහිව අල්ලස් ගැනීම, වංචාව සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා එල්ල විය.

තමන් කිසිදු වැරැද්දක් සිදු කර නොමැති බව පවසන ඔහු, තමන් තම දේශපාලන ප්‍රතිවාදීන් විසින් සැලසුම් කරන ලද දේශපාලනමය වශයෙන් පෙළඹවූ 'දේශපාලන දඩයමක' ගොදුරක් වී ඇති බව ප්‍රකාශ කරයි. ඔහු 2020 මැයි මාසයේදී නඩු විභාගයකට මුහුණ දුන් අතර, ඒ අනුව එම තත්ත්වයට මුහුණ දුන් ධුරය දරන පළමු අග්‍රාමාත්‍යවරයා බවට ද ඔහු පත් විය.

ඔහු ජනාධිපති අයිසැක් හර්සොග්ගෙන් සමාව ඉල්ලා සිටියද, ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වරද පිළිගැනීමේ එකඟතාවයකට පැමිණීමේ උත්සාහයන්ට මුල් තැන දිය යුතු බවයි. වසර හයකට වැඩි කාලයක් ගත වී ඇතත් මෙම සිදුවීම තවමත් විසඳී නොමැති අතර නඩු විභාගය තවදුරටත් ඉදිරියට පැවැත්වේ.

අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගෙන එන ලද මතභේදාත්මක සැලසුම් හේතුවෙන් ද ඔක්තෝබර් 7 ප්‍රහාරයට පෙර දැවැන්ත විරෝධතා මතු වූ අතර, එමඟින් ඊශ්‍රායලයේ ජාතික අනන්‍යතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැඹුරු බෙදීම් පැහැදිලිවම නිරාවරණය විය. ඊශ්‍රායලය නැවත වරක් මැතිවරණයකට මුහුණ දීමට සූදානම් වන මේ මොහොතේ ද එම බෙදීම් තවමත් විසඳී නොමැත.

ට්‍රම්ප් සමඟ සබඳතා

Israeli Prime Minister Benjamin Netanyahu and US President Donald Trump pose for a photograph during a meeting at the White House on 28 July 2026. Both wear dark suits, with Netanyahu in a blue tie and Trump in a red tie, smiling towards the camera.

2026 ජූලි 28 දින ධවල මන්දිරයේ පැවති හමුවක් අතරතුර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡායාරූපයකට පෙනී සිටිති. දෙදෙනාම තද පැහැති ඇඳුම් ඇඳ සිටින අතර, නෙතන්යාහු නිල් පැහැති ටයි පටියක්ද ට්‍රම්ප් රතු පැහැති ටයි පටියක්ද පැළඳ, කැමරාව දෙස බලා සිටිති.
ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 ජනවාරි මාසයෙන් පසුව, ලොව වෙනත් ඕනෑම නායකයෙකුට වඩා වැඩි වාර ගණනක් ලෙස, නෙතන්යාහු අට වතාවක්ම ට්‍රම්ප් හමුවී ඇත

2017 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධූර කාලය ආරම්භ වීමත් සමඟ, ඇමෙරිකා එක්සත් ජනපද සහ ඊශ්‍රායල රජයේ ප්‍රතිපත්ති අතර වඩාත් සමීප සහයෝගීතාවයක් ඇති වූ අතර, වසරක් ඇතුළත ට්‍රම්ප් විසින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව නිවේදනය කළේය.

මෙම පියවර මුළු අරාබි ලෝකය පුරාම දැඩි කෝපයක් ඇති කිරීමට හේතු විය. 1967 මැදපෙරදිග යුද්ධයේ සිට ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින ජෙරුසලමේ නැගෙනහිර කොටස සඳහා පලස්තීනුවන් ඉදිරිපත් කරන අයිතිවාසිකම් ඉල්ලීමට අරාබි ලෝකයේ සහය හිමි වන අතර, නැගෙනහිර ජෙරුසලම ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් පලස්තීන භූමියක් ලෙස සලකන එක්සත් ජාතීන්ගේ සංවිධානය ද එම ඉල්ලීමට සහය පළ කරයි. කෙසේ වුවද, මෙමඟින් නෙතන්යාහුට සිය රට තුළ මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ද විශාල දේශපාලන ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකි විය.

2020 ජනවාරි මාසයේදී නෙතන්යාහු, ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර සාමය සඳහා ට්‍රම්ප් ඉදිරිපත් කළ සැලැස්ම "සියවසේ අවස්ථාව" ලෙස වර්ණනා කළේය. කෙසේවෙතත්, පලස්තීනුවන් එය ඒකපාර්ශ්වික යෝජනාවක් ලෙස ප්‍රතික්ෂේප කළ අතර එය ක්‍රියාත්මක නොවීය.

ඉරාන මුහුණුවර සම්බන්ධයෙන් ද නෙතන්යාහු, ට්‍රම්ප් සමඟ එකඟතාවයකින් කටයුතු කළ අතර, 2018 වසරේදී ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ජනාධිපතිවරයා ඉවත් වීම සහ එරටට එරෙහිව නැවතත් ආර්ථික සම්බාධක පැනවීම ඔහු විසින් පිළිගනු ලැබීය.

කෙසේ වුවද, 2020 නොවැම්බර් මාසයේදී ජෝ බයිඩන් ජනාධිපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් නෙතන්යාහු සුබ පැතීමෙන් පසුව, ට්‍රම්ප් ඔහුට ද්‍රෝහී වූ බවට චෝදනා කරමින් ඊශ්‍රායල නායකයාට එරෙහිව දැඩි විවේචනාත්මක අදහස් පළ කළේය."

පසුව දෙදෙනා අතර සබඳතා යළි යථා තත්ත්වයට පත් වූ අතර, නැවතත් විවිධ පරීක්ෂාවන්ට ලක් විය.

ට්‍රම්ප් ඔහුගේ දෙවන ධූර කාලය තුළදී ඉරානයට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායලයට සහය ලබා දුන් අතර, දූෂණ චෝදනා සම්බන්ධයෙන් නෙතන්යාහුට සමාව දෙන ලෙස ද බලපෑම් කළේය. එමෙන්ම ඔහු අවසන් වරට පසුගිය ජූලි මාසයේදී ඇතුළු අවස්ථා කිහිපයකදීම ධවල මන්දිරයේදී නෙතන්යාහුට සත්කාරකත්වය සපයන ලදී. 2025 ජනවාරි මාසයේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා නැවත බලයට පත්වීමෙන් පසුව, ලොව වෙනත් ඕනෑම නායකයෙකුට වඩා වැඩි වාර ගණනක් ලෙස නෙතන්යාහු අට වතාවක් ම ට්‍රම්ප් හමුවී ඇත.

මැතිවරණය පැවැත්වීමට දින කිහිපයකට පෙර ඔහු එම සහයෝගය නැවත වරක් අවධාරණය කළේය. සිය ටෘත් සෝෂල් ගිණුමේ තැබූ සටහනක් මඟින් ට්‍රම්ප් නෙතන්යාහුට සිය සහය පළ කර සිටි අතර, එහිදී ඔහු නෙතන්යාහුව 'ශ්‍රේෂ්ඨ රණකාමී අග්‍රාමාත්‍යවරයෙකු' ලෙස අගය කරමින්, 'දැවැන්ත විරෝධතා හමුවේ වුවද ශක්තිමත්, නිර්භීත සහ විශිෂ්ට ලෙස කටයුතු කරන' අයෙකු ලෙස විස්තර කළේය.

සියල්ලටත් වඩා, මෙම මැතිවරණය එරට වඩාත්ම මතභේදාත්මක සහ ජනතාව බෙදීමට ලක් කළ දේශපාලන චරිතයක් පිළිබඳ ජනමත විචාරණයක් ලෙස සලකනු ලබයි. ඔහුගේ ආධාරකරුවන් පවසන්නේ ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බෙන්ජමින් නෙතන්යාහු තවදුරටත් අවශ්‍ය බවයි. කෙසේ වුවද, විවේචකයන් පෙන්වා දෙන්නේ ඔහුගේ දේශපාලන පැවැත්ම ඊශ්‍රායලය දැඩි අවදානමක හෙළන බවයි.